මහ වැස්සෙන් දුම්රිය ධාවනයත් කොට උඩ

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මන්නාරම සහ උඩරට දුම්රිය මාර්ගවල ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අද (23) පෙරවරු 06.00ට නිකුත් කළ තොරතුරුවලට අනුව, මන්නාරම දුම්රිය මාර්ගයේ පවතින අවහිරතා හේතුවෙන් මන්නාරමේ සිට මැදවච්චිය දක්වා දුම්රිය ධාවනය නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට අඹේවෙල දක්වා කොටසේද දුම්රිය ධාවනය ඇනහිට තිබෙනවා.

කෙසේ වෙතත්, උඩරට මාර්ගයේ අඹේවෙල සිට බදුල්ල දක්වා වූ කොටසේ පමණක් දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.