අමෙරිකා – ඉරාන ගිනි නිවන්න පාකිස්ථානයෙන් “සාම දූතයෙක්”

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා පාකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් මහතා ටෙහෙරාන් නුවර වෙත පැමිණ තිබෙනවා.

දෙපාර්ශවය අතර සාම ගිවිසුමක් ඇති කිරීමේ අරමුණින් මැදිහත්කරුවෙකු ලෙස ඒ මහතා මෙම සංචාරයට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සාම සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මායිල් බගායි මහතා පවසා ඇත්තේ දෙරට අතර කඩිනම් එකඟතාවයකට පැමිණීමේ හැකියාවක් තවමත් නිර්මාණය වී නොමැති බවයි.

පවතින යුදමය වාතාවරණය අවසන් කිරීම පිළිබඳව පමණක් දැනට අවධානය යොමුව ඇති අතර න්‍යෂ්ටික ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡා වී නොමැති බව ඒ මහතා කියා සිටිනවා.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් අවසන් වනු ඇති බවයි.

එහෙත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් යුද්ධය නැවැත්වීම සඳහා ඉරානයට වඩා වැඩි දේශපාලන පීඩනයක් අමෙරිකානු රජයට එල්ල වෙමින් පවතින බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.