නවදිල්ලියට දැඩි වායු දූෂණ අවදානමක්

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඇතුළු උතුරු ඉන්දීය ප්‍රදේශ දැඩි වායු දූෂණයකට මුහුණ දී ඇතැයි වාර්තා වනවා.

මේ නිසා විවිධ රෝගාබාධ ඇතිවීමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

ඉන්දියාවේ වායු දූෂණය හේතුවෙන් වසරකට මියයන පිරිස මිලියන දෙකකට අධිකයි.

එමෙන්ම ශ්වසන රෝග, හෘද රෝග, අංශභාගය ඇතුලු නිධන්ගත පෙනහළු රෝග ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ.

ළමයින්, වැඩිහිටියන් සහ පූර්ව සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් මෙම තත්ත්වයෙන් දැඩි අවදානමකට ලක්ව සිටිනවා.

මධ්‍යම දූෂණ පාලන මණ්ඩලයට අනුව, නොවැම්බර් 4 වැනිදා දිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකය 377 ක් ලෙස සටහන් වුනා. එය පසුගිය මාස 10 තුළ වාර්තා වූ ඉහළම අගයයි.

වායු දූෂණය හේතුවෙන් නවදිල්ලි අගනුවර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.8 ක පමණ ආර්ථික පාඩුවක් සිදුවන බවද පර්යේෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

වාහනවලින් නිකුත් වන දුමාරය, කාර්මික ක්‍රියාකාරකම්, ඉදිකිරීම් දූවිලි සහ අසල්වැසි ප්‍රාන්තවල බෝග අපද්‍රව්‍ය දහනය වීම මෙම තත්ත්වය උග්‍රවීමට හේතුවයි.

මන්දගාමී සුළං ප්‍රවාහ සහ අඩු උෂ්ණත්වය හේතුවෙන් දූෂකාරක අගනුවර භූමියට ආසන්නව ඒකරාශී වී ඇති බව සඳහන්.