නෙතන්යාහුගේ ප්‍රකාශය එමීර් රාජ්‍යය ප්‍රතික්ෂේප කරයි

ඉරානය සමඟ යුද්ධය පවතිද්දී තමා රහසිගතව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් එරට ජනාධිපතිවරයා හමු වූ බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කළ ප්‍රකාශය එමීර් රාජ්‍යය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දෙරට අතර සබඳතා ප්‍රසිද්ධ ගිවිසුම් මත පදනම් වූවක් මිස මෙවැනි රහසිගත ගනුදෙනු නොවන බවයි එමීර් රාජ්‍ය සඳහන් කරන්නේ.

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් ඊශ්‍රායලයේ ‘අයන් ඩෝම්’ (Iron Dome) මිසයිල නාශක පද්ධති ලබා දී ඇති බවට අමෙරිකානු තානාපතිවරයා කළ ප්‍රකාශයත් සමඟ මෙම දේශපාලන කතාබහ උණුසුම් වී තිබෙනවා.

අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ එමීර් රාජ්‍යය පවතින සබඳතා පිළිබඳව ඉරානය දැඩිලෙස විවේචනය කරනවා.

ඊශ්‍රායලය සමඟ පවතින රහසිගත සබඳතා මෙලෙස හෙළිදරව් වීම සමාව දිය නොහැකි වරදක් බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා පවසන්නේ.

එහෙත් ඊශ්‍රායලය සමඟ පවත්වන සියලු සබඳතා ‘ඒබ්‍රහම් ගිවිසුම’ යටතේ විනිවිදභාවයෙන් යුතුව සිදු කරන බව එමීර් රාජ්‍යය යළිත් අවධාරණය කරනවා.

අල්-අයින් නගරයේදී මෙම රහසිගත හමුව පැය කිහිපයක් පුරා පැවති බවට විදේශ පුවත් සේවා වාර්තා කළ ද, කිසිදු ඊශ්‍රායල හමුදා දූත පිරිසක් හෝ නායකයෙකු සිය රටට පැමිණ නැති බවයි එමීර් රාජ්‍යය අවධාරණය කරන්නේ.

යුදමය වාතාවරණය හමුවේ මැදපෙරදිග කලාපයේ හමුදාමය සන්ධාන අලුත් වෙමින් පවතින බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.