මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ කෝටි ගණනක දේපළ වත්කම් විමර්ශනයෙන් කොටු – ජාවාරම්කාරිය පලායයි

ඊයේ (08) දින පුබුදුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබූණා.

සිදුකරන ලද විමර්ශනයේදී, සැකකාරිය විසින් පුබුදුගම, උස්වැටකෙයියාව ලිපිනයේ පිහිටි පර්චර් 20 ක ඉඩමක ඉදිකරන ලද රුපියල් කෝටි 05 ක වටිනාකමකින් යුත් දෙමහල් නිවස හා කුංජාවත්ත, නුගපේ, වත්තල ලිපිනයේ පිහිටි පර්චස් 9.5 ක් පමණ වූ ඉඩමෙහි ඉදි කල රුපියල් ලක්ෂ 70ක පමණ වූ නිවස හා කඩ කාමරය මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා මුදලින් ඉදිකර ඇති බවට අනාවරණය වී ඇත.

ඉහත දේපල සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව වැලිසර ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඉහත දේපල සඳහා ඊයේ (08) දින සිට දින 07ක කාලයක් ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා.

සැකකාරිය ප්‍රදේශය හැරගොස් ඇති අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.