යුක්‍රේන අගනුවර වන කියෙව් වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට රුසියාව අනතුරු අඟවා තිබෙනවා.
ඉදිරියේදී එල්ල වන ප්‍රහාර මගින් එරට හමුදා මූලස්ථාන සහ ඩ්‍රෝන නිෂ්පාදනාගාර ඉලක්ක කරන බවයි රුසියානු විදේශ අමාත්‍යාංශය පවසන්නේ.
මේ හේතුවෙන් කියෙව් නුවර සිටින විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු විදේශිකයන්ට හැකි ඉක්මනින් ඉන් ඉවත්වන ලෙසද රුසියානු බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
රුසියාව සිදුකරන මෙම තර්ජනය බටහිර නායකයින් හෙළා දැක තිබෙනවා.
යුක්‍රේන යුද්ධය ආරම්භ වී වසර හතර හමාරකට වැඩි කාලයක් ගතවී ඇති පසුබිමක දෙපාර්ශ්වය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය යළිත් වරක් දරුණු අතට හැරෙමින් පවතිනවා.
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ රුසියාව විසින් කියෙව් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට එල්ල කළ දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් සිවිල් වැසියන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මහතා ප්‍රකාශ කරන්නේ.
මෙම බලාපොරොත්තු නොවූ ගුවන් ප්‍රහාරය හේතුවෙන් කියෙව් නුවර පිහිටි චර්නොබිල් කෞතුකාගාරය, ජාතික කලාගාරය මෙන්ම සාප්පු සංකීර්ණ සහ නේවාසික ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදුව තිබෙනවා.
මෙම ප්‍රහාරය සඳහා රුසියාව විසින් නවතම ඔරෙෂ්නික් (Oreshnik) වර්ගයේ හයිපර්සොනික් මිසයිලයක් පවා භාවිත කර ඇති බව වාර්තා වනවා.
