සටන් විරාම මැද පලස්තීනුවන් 1000ක් මියයයි

අමෙරිකාවේ මැදිහත් වීමෙන් පසුගිය ඔක්තෝබර් මාසයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති කරගත් සටන්විරාම ගිවිසුමෙන් පසුවද ගාසා තීරයේ පලස්තීනුවන් 1000කට වැඩි පිරිසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගොස් තිබෙනවා.

විදේශීය සහන සේවා සංවිධාන පවසන්නේ මෙම තත්ත්වය හමුවේ ගාසා තීරයේ මානුෂීය අර්බුදය අතිශය දරුණු මට්ටමක පවතින බවයි.

ගිවිසුමෙන් පසුව ද ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවන් 1,005 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

පවත්නා සටන් විරාමයෙන් මහා පරිමාණ ගැටුම් නතර වී තිබුණ ද, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් කරගැනීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට මෙතෙක් එකඟතාව පළ වී නැහැ.

මේ අතරතුර ඊශ්‍රායලය ගාසා තීරයේ සිය බලපෑම තවදුරටත් තහවුරු කරමින්, එහි භූමියෙන් සියයට 64ක පාලනය මේ වන විට තමන් සතු කරගෙන තිබෙනවා.

ගාසා තීරයේ කිසිදු රෝහලක් සම්පූර්ණ ක්‍රියාකාරී මට්ටමක නොමැති අතර, ආහාර සහ ඖෂධ හිඟයෙන් එරට වැසියන් දැඩි පීඩාවට පත්ව සිටින බවයි පලස්තීන මාධ්‍ය වාර්තා කරන්නේ.