ගම්පොල නගරය ගංවතුරින් යටවීමට හේතු සෙවීමට විශේෂ සාකච්ඡාවක්…

ගම්පොල නගරය ගංවතුරින් යටවීමට හේතු පිළිබඳව සෙවීමේ විශේෂ සාකච්ඡාවක් ගම්පොල උඩපලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී හෙළිකෙරුණේ ගම්පොල නගර සීමාව තුළ සිදුකර ඇති අනවසර ඉදිකිරීම් රාශියක් මෙම ජලගැලීම් තත්වයට බලපා ඇති බවයි. ඒ අනුව ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමුකෙරුණා.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ නාගරික සංවර්ධන අධිකාරය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, උඩපළාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, නගර සභාව, මහවැලි සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන රැසක නිලධාරින්ගේ සහභාගීත්වයෙන්. මීට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පස්මින් සැරීෆ් මහතා ප්‍රකාශ කළේ ගම්පොල නගර සීමාව තුළ අනවසර ගොඩනැගිලි 200 ක් හා අනුමැතිය නොමැති නිවාස 3000 ක් සමග ගංගා, ඇළදොල අවහිර කිරීම් දහසක් පමණ තිබීම සාමාන්‍ය වර්ෂාවකටත් ගම්පොල ප්‍රදේශය ගංවතුරින් යටවීමට හේතුවී ඇති බවයි. දිට්වා සුළි කුණාටුව අවස්ථාවේ ගම්පොල නගරය ගංවතුරින් සම්පූර්ණයෙන් යටවූ අතර දේපළ රැසකට අලාභහානි සිදුවුණා. ඉන් මාස 08 කට පසුව ඇතිවූ දැඩි වර්ෂා අවස්ථාවේදී ද නගර සීමාවේ විශාල ප්‍රදේශයකට ජල ගැලීම් සිදුවුණා. සිදු කළ සොයාබැලීම්වලදී නිරීක්ෂණය වී ඇත්තේ, නගරය ආශ්‍රිත මහවැලි ගඟ සහ ඇල මාර්ග ගලා යෑමට ඇති ඉඩකඩ අවහිර වන පරිදි ඉදි කර ඇති අනවසර ඉදිකිරීම් මේ තත්වයට හේතු වී ඇති බවයි. මෙහිදී අදාළ අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට තීරණය කෙරුණු අතර ඒ සම්බන්ධ පූර්ණ වාර්තාවක් සකස් කිරීමටද නියමිතයි.