
සූඩානයේ වත්මන් ගැටුම් හේතුවෙන් එරට මේ වනවිට මාරාන්තික අර්බුදයකට මුහුණ පා සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.
එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය අනතුරු අඟවන්නේ ගැටුම් හමුවේ පීඩාවට පත් සිවිල් වැසියන් අතර, කුසගින්න, රෝග සහ අවතැන්භාවයට පත්වීම දෛනිකව ඉහළ යමින් පවතින බවටයි.
මාස 15 ක කාලයක් පුරා සූඩානයේ “ එල් – ෆෂර්” නගරය ඇතුළු ප්‍රදේශයෙහි පවතින මානුෂීය අර්බුදය මේ වනවිට තවදුරටත් උත්සන්න වී තිබෙනවා.
ආහාර හිඟය සහ ඉහළ යමින් පවතින භාණ්ඩ මිල හමුවේ සිවිල් වැසියන් මානුෂීය ව්‍යසනයකට මුහුණ පා සිටින බවයි වාර්තා වන්නේ.
දැඩි කුසගින්න මෙන්ම මන්දපෝෂණය හේතුවෙන් සිදුවන සිවිල් මරණ සංඛ්‍යාවද ඉහළ යමින් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා.
ආහාර හිඟය නිසා ඇතැම් සිවිල් වැසියන් සත්ව ආහාර අනුභව කිරීමටද පෙළඹී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.