මාරක අනතුරු වැළක්

දිවයිනේ ප්‍රදේශ රැසක සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් කිහිපදෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා.

ඊයේ (09) දින අළුයම් කාලයේ මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී කුරුණෑගල දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත බැම්මක හා විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් වෑන් රථයේ ගමන් කළ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කාන්තාවක් හා දරුවෙකු බරපතල තුවාල ලබා මාවතගම රෝහලට ඇතුලත් කිරීමේදි දරුවා මියගොස් ඇති අතර අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මරණකරු වයස මාස 11ක්වූ මාරලන්ද, මාවතගම ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙක්.

මෘත ශරීරය මාවතගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ඊයේ (09) දින උදෑසන පේරාදෙණිය කටුගස්තොට මාර්ගයේ ගන්නෝරුව ප්‍රදේශයේදී ගන්නෝරුව දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය හරහා ගමන් කල පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පදික පුද්ගලයා බරපතල තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 57 ක්වූ ගන්නෝරුව, පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම ඊයේ (09) දින දහවල් කාලයේ උඩලමත්ත උඩුගම මාර්ගයේ උඩලමත්ත ප්‍රදේශයේදී උඩුගම දෙස සිට උඩලමත්ත දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා උඩුගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 15 ක් වූ ගෝනදෙනිය, උඩුගම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

මෘත ශරීරය උඩුගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවල ප්‍රදේශයේදී මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ප්‍රයිමුවර් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් නවතා තිබූ ආපදා රථයක ගැටී අසල සිටි පදික පුද්ගලයින් දෙදෙනෙකුගේද ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පදික පුද්ගලයින් දෙදෙනා බරපතල තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමේදි එක් පදිකයෙකු මියගොස් ඇත. අනෙක් පදික පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුලත් කර ඇත.

මරණකරු වයස අවුරුදු 27 ක් වූ නැලිගම, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ප්‍රයිමුවර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරු සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.