
ග්‍රාමීය සංවර්ධනය, සමාජ ආරක්ෂණය සහ ප්‍රජා සවිබල ගැන්වීම් ගරු අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ මහතා දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.
ශ්‍රී ලංකා – රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ප්‍රතිස්ථාපනය කිරීමේ රැස්වීම ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ රුමේනියානු නියෝජ්‍ය තානාපති ගරු මිහෙලා-ඇන්ජෙලා රුට්ජන්ස් මහත්මිය ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූවාය. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ අධ්යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ වැඩබලන අධ්යක්ෂ (සන්නිවේදන) එම්. ජයලත් පෙරේරා මහතා ඇතුළු පිරිසක්ද මෙම රැස්වීමට සහභාගී වූහ.
එහිදී, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා ශ්‍රී ලංකා – රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ලෙස තේරී පත් වූ අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතිඥ) නිලන්ති කොට්ටහච්චි මහත්මිය භාණ්ඩාගාරික ලෙස තේරී පත් විය.
මෙම රැස්වීමේදී ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර වසර 68ක් පුරා පැවත එන අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය මත පදනම් වූ ශක්තිමත් සහ මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ අවධාරණය කෙරිණි. එමෙන්ම 2024 දී රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටුවීමද දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බවටද අදහස් පළවිය.
දෙරට අතර ආර්ථික හා සමාජීය සබඳතා ශක්තිමත් කිරීම සඳහා රුමේනියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දායකත්වය දෙපාර්ශ්වයම ඇගයීමට ලක්විය. දෙරට අතර අධ්‍යාපනය, වෙළඳාම, සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය, ඛණිජ තෙල්, ගෑස් සහ බලශක්තිය ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක සහයෝගීතාව වර්ධනය කළහැකි ආකාරය පිළිබඳව ද සාකච්ඡාවලදී අදහස් පළවූ අතර නැවත පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා – රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය මෙම ක්ෂේත්රවල ඉදිරි කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ඵලදායී වේදිකාවක් වනු ඇති බවට දෙපාර්ශ්වයම විශ්වාසය පළ කළහ. උක්ත රැස්වීමෙන් අනතුරුව මිහායෙලා-ඇන්ජෙලා රුට්ජන්ස් මහත්මිය ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ද හමුවූ අතර, එහිදී පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගීතාව වර්ධනය කිරීම ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ එහිදී සාකච්ඡා කෙරිණි.