ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගය අද (17)

ලෝක කුසලාන කාන්තා ඒක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. පස්වරු 3 ට ආරම්භ වන තරගය ප්‍රේක්ෂකයින්ට නොමිලයේ නැරඹිය හැකියි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙවර තරගාවලියේදී සහභාගී වන 5 වැනි තරගය මෙයයි. තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග 2 ක් පරාජය වූ අතර, තරග 2 ක් වර්ශාව‌ හේතුවෙන් අතහැර දැමුණා. ඒ් අනුව ශ්‍රී ලංකාව ලකුණු 2 ක් සමග ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්‍ථානයේ පසුවනවා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන දකුණු අප්‍රිකාව තරග 4 ක් ක්‍රීඩා කර ඉන් තරග 3 ක් ජය ගෙන තිබෙනවා. ලකුණු 6 ක සමග ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය හිමියි.

මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පවත්වා ඇති ඒක්දින තරග සංඛ්‍යාව 25 ක්. ඉන් තරග 16 ක් දකුණු අප්‍රිකාවත් තරග 6 ක් ශ්‍රී ලංකාවත් ජය ගත්තා‍. තරග 3 ක් අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.