ඉරාන පාපන්දු කණ්ඩායම ඉදිරියේ ඕස්ට්‍රේලියාවේ හිත උණුවෙයි

ආසියානු කුසලාන කාන්තා පාපන්දු තරගාවලියට සහභාගීවීමට සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණි ඉරාන කණ්ඩායමට එරට රැඳී සිටීමට අවශ්‍ය වීසා ලබා දීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.

ඒ, ඉරාන කණ්ඩායම යළිත් තම රටට යෑම අවදානම් තත්වයකට පත් වීම හේතුවෙන්.

තරගාවලිය යටතේ පසුගියදා දකුණු කොරියාව සමග පැවති තරගයේදී, ඉරාන කණ්ඩායම තම ජාතික ගීය ගායනා කිරීමෙන් වැළැකී සිටියා.

ඊට ඉරාන රජයෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. තරගාවලියෙන් ඉවත් වීමෙන් පසු අදාළ කණ්ඩායමට යළිත් ඉරානය බලා පිටත්ව යාමට නොහැකි තත්වයක් උද්ගත වුණේ, ඒ හේතුවෙන්.

එවන් පසුබිමක ඔස්ට්‍රේලියානු රජය ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 5 දෙනෙකු සඳහා තම රට තුළ රැඳී සිටීමට අවශ්‍ය වීසා ලබාදීමට එකඟ වී තිබෙනවා.

එම ක්‍රීඩිකාවන් 5 දෙනා මේ වන විටත් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගොස් ඇති බවත්, අනෙක් ක්‍රීඩිකාවන් සඳහාත් අවශ්‍ය නම් වීසා දීර්ඝ කිරීමට හැකි බවත්, ඔස්ට්‍රේලියානු රජය ‍පවසා තිබෙනවා.

මේ අතර, විදෙස් මාධ්‍ය සඳහන් කළේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බෙනිස් සමග සාකච්ඡා කර ඇති බවයි.