මනුෂ්‍යත්වයේ යාත්‍රාව අවහිර කරයි

ලොව ප්‍රකට සමාජ ක්‍රියාකාරීන්, මානුෂීය ආධාර රැගත් මැඩ්ලීන් යාත්‍රාව ගාසා තීරයට ඇතුළු වීම වැළැක්වීම සඳහා තම හමුදාව අවශ්‍ය ඕනෑම පියවරක් ගන්නා බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙනවා.

එම නෞකාව ජුනි 7 වැනි දින මානුෂීය ආධාර රැගෙන ගාසා තීරයට ළගාවීමට නියමිතව තිබුණා.

දේශගුණික සහ පරිසර ක්‍රියාකාරිණියක වන ග්‍රේටා තුන්බර්ග් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකුගෙන් යුත් මැඩ්ලීන් නෞකාව මේ වන විට ගාසා තීරයේ සිට නාවික සැතපුම් 160 ක පමණ දුරකින් රඳවා ඇති බවයි, වාර්තා වන්නේ.

ෆ්‍රීඩම් ෆ්ලෝටිලා සන්ධානය නමින්, හඳුන්වා ඇති මෙම මානුෂීය මෙහෙයුම මගින් ගාසා තීරයට අවශ්‍ය සහල්, ළදරු කිරි පිටි ඇතුළු ආධාර ප්‍රමාණයක් රැගෙන යනු ලබනවා.

ඉකුත් ජුනි පළමු වැනි දින ආධාර රැගත් මැඩ්ලීන් යාත්‍රාව සිසි‍ලියේ සිට ගමන ආරම්භ වූ බවයි, වාර්තා වන්නේ.

මේ වන විට නෞකාව ගාසා තීරය වටා ඊශ්‍රායල නාවික හමුදාව යොදවා ඇති අවහිරය ඔස්සේ ගාසා තීරයට ඇතුළු වීමට උත්සහ දරමින් සිටින බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යාත්‍රාව යළි හැරවිය යුතු බවත්, නාවික අවහිරය වැළැක්වීමට ගන්නා ඔනෑම් උත්සහයකට එරෙහිව ඊශ්‍රායලය ක්‍රියා කරන බවත්, ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශ කරනවා.