ඇමති විජිත හේරත්ගේ සහභාගිත්වයෙන් මැලේසියානු ආහාර උළෙල පැවැත්වෙයි

ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් බද්ලි හිෂාම් ආදම් ( Badli Hisham Adam) මහතාගේ විශේෂ ආරාධනයකට අනුව, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා “මැලේසියානු ආහාර උළෙලට” (Malaysian Food Festival) සහභාගී වුණා.

ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද මෙම උත්සවය ඊයේ (05) දින පස්වරුවේදී පැවැත්වුණි.

​කොළඹ ෂෙරටන් (Sheraton Colombo) හෝටලයේදී පැවැත්වුණු මෙම උත්සවය, මැලේසියානු කලාව, සංස්කෘතිය සහ විචිත්‍රවත් මැලේසියානු ආහාර සංස්කෘතිය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන්ම වෙන් කර තිබුණි.

මෙම උළෙල මැලේසියානු සංචාර ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පැවැත්වුණු අතර මැලේසියාවෙන් පැමිණි පළපුරුදු සූපවේදීන් විසින් ආහාර පිළියෙළ කොට තිබුණි.

දින කිහිපයක් පුරා කොළඹ හෝටල් දෙකක් සමඟ එක්ව මැලේසියානු ආහාර ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ විශේෂ වැඩසටහනක් මැලේසියානු මහකොමසාරිස් කාර්‍යාලය දියත් කළ අතර එහි අවසන් දිනය ඊයේ යෙදී තිබුණි.