ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග ගැන ට්‍රම්ප් අසතුටින්

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමෙන් පසුවත්, ඊශ්‍රායල හමුදා ලෙබනනයේ සටන් විරාමය අසූහතර වතාවක් උල්ලංඝනය කර ඇති බවට ඉරානය චෝදනා කරනවා.

දකුණු ලෙබනනයේ සිදු වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ කලාපීය නොසන්සුන්තාව යළිත් දැඩි වී ඇති බව වාර්තා වනවා.

ප්‍රංශයේ පැවැත්වෙන G7 රාජ්‍ය නායක සමුළුවට සමගාමීව අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ, ලෙබනනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය අනුගමනය කරන ඇතැම් ක්‍රියාමාර්ග පිළිබඳව තමන් කිසිසේත්ම සතුටට පත් නොවන බවයි.

කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පෙන්වා දෙන්නේ කලාපය පුරා ස්ථිර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සහ ලෙබනනයෙන් ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන්ම ඉවත් වීම අමෙරිකාව සමඟ ඇති කරගන්නා ඕනෑම අවසාන එකඟතාවයක අනිවාර්ය කොන්දේසියක් වන බවයි.

මෙම තත්ත්වය හමුවේ, අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඉරානය ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම නතර කර සුදුසු පරිදි හැසිරෙන්නේ නම් පමණක් අමෙරිකානු සම්බාධක ඉවත් කිරීම ඇතුළු විශාල ආර්ථික ප්‍රතිලාභ රැසක් ඔවුන්ට හිමිවන බවයි.

පවතින උණුසුම් වාතාවරණය හමුවේ වුවද, ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනයෙන් වැළකී සිටීම සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය නිදහසේ පවත්වාගෙන යාම තහවුරු කෙරෙන මෙම ඓතිහාසික ගිවිසුමට සහය දීමට G7 කණ්ඩායමේ නායකයන් ඒකමතිකව එකඟතාව පළ කර තිබෙනවා.