ඔසී කෙල්ලෝ 7 වැනි වරටත් 20-20 ලෝක කිරුළ ගනියි

හත්වැනි වරටත් 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.

ඒ ඊයේ පැවැති අවසන් තරගයේදී එංගලන්තය පරාජය කරමින්.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 04 ක් දැවී ලකුණු 150 ක් රැස්කළා.

නායිකා නෙට් ශිවර් නොදැවී ලකුණු 58 යි. ෆ්‍රෙයා කෙම්ප් ලකුණු 44 ක් ලබාගත්තා.

පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායමට තරගය ජයගැනීම සදහා හිමිවූ ඉලක්කය ලකුණු 151 ක්.

ඔවුන් පන්දුවාර 17 යි පන්දුවකදී, කඩුලු 03 ක් පමණක් දැවී ලකුණු 153 ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකර ගත්තා.

බෙත් මූනි ලකුණු 64 ක් ලබාගත් අතර, පොයේබ් ලිච්ෆීල්ඩ් ලකුණු 48 යි. ඒ අනුව ඔස්ට්‍රේලියාව ලෝක විස්සයි විස්ස ක්‍රිකට් කිරුළ හිමිකර ගැනීමට සමත්වුණා.‍

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව යන සම්මාන ද්විත්වයම හිමිවුනේ බෙත් මූනි ට.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 12 ක සහභාගීත්වයෙන් පැවැති අතර ශ්‍රී ලංකාව මූලික වටයෙන්ම ඉවත් වුනා.

දසවැනි වරට පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකරගත් ඔස්ට්‍රේලියාව මීට‍ පෙර 2010, 2012, 2014, 2018, 2020 සහ 2023 යන වසර වලදීද මෙහි ශූරතාව දිනාගෙන තිබෙනවා.‍