කොදෙව්වන් පරදා සිංහයන්ට සුපිරි ජයක්

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 37 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරගය අද පැවැත්වුණේ, කිංග්ස්ටන් හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 194 ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සහ නායක කුසල් මෙන්ඩිස්. පැතුම් ලකුණු 7 කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 31 යි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ කමිල් මිෂාර තම 20-20 ක්‍රිකට් දිවියේ සිව්වැනි අර්ධ ශතකය සමගින් ලකුණු 61 ක් රැස් කළා.

පන්දු 40 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහර 3 ක් ඇතුළත්.

දසුන් ශානක තම 9 වැනි 20-20 අර්ධ ශතකය සමගින් ලකුණු 58 ක් රැස් කළා.

පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දුවකදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වූ ලකුණු සංඛ්‍යාව 157 ක්.

රෝමන් පවෙල් ලකුණු 43 ක් සහ ශිම්රන් හෙට්මයර් ලකුණු 36 ක් රැස් කළා. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 9 කට කඩුලු 3 යි.

වනිදු හසරංග කඩුලු 3 ක් සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 ක් දවා ගත්තා.

තරග තුනකින් සමන්විත තරගාවලියේ එක් තරගය බැගින් ජය ගනිමින් දෙපිළම මේ වන විට සම තත්වයේ පසු වනවා.