ගාල්ල සහ අම්බලන්ගොඩ ධීවර වරායන්හි සංවර්ධන ව්‍යාපෘති ඇරඹේ

ධීවර වරාය සංවර්ධන වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර යටිතල පහසුකම් නංවාලීම අරමුණු කර ගනිමින්, ගාල්ල සහ අම්බලන්ගොඩ ධීවර වරායන්හි සංවර්ධන ව්‍යාපෘති ද්විත්වයක ඉදිකිරීම් කටයුතු ඊයේ (21) දින නිල වශයෙන් ආරම්භ කෙරුණා.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙන්ම, දකුණු පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ සහභාගීත්වයෙන් මෙම සමාරම්භක උත්සව අවස්ථාවන් පැවැත්වුණා.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි. මෙම සංවර්ධන ව්‍යාපෘති ද්විත්වය සඳහා රජය විසින් වැය කරනු ලබන මුළු මුදල රුපියල් මිලියන 323.12 කි.

රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ගාල්ල ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතිය මගින් නව මත්ස්‍ය වෙන්දේසි ශාලාව, සිල්ලර වෙළඳ මධ්‍යස්ථානය සහ රථගාල ඉදිකිරීමට නියමිතය.

ඒ සඳහා රුපියල් මිලියන 224 ක මුදලක් වෙන් කර ඇති අතර, පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු දින 365 කින් නිම කිරීමට සැලසුම් කර ඇත.

මේ අතර, අම්බලන්ගොඩ ධීවර වරාය නවීකරණ ව්‍යාපෘතිය යටතේ පවතින වරාය භූමිය සංවර්ධනය කිරීම, රථගාල සහ කාණු පද්ධතිය ඉදිකිරීම සහ වෙන්දේසි ශාලාව නැවත ඉදිකිරීම සිදු කෙරේ.

රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 99.12 ක මුදලක් වෙන් කර ඇත. එම ඉදිකිරීම් දින 120 කින් නිම කිරීමට නියමිතය.

මෙම සංවර්ධන ව්‍යාපෘති ද්විත්වය නිමවීමත් සමඟ ගාල්ල සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල ධීවර ප්‍රජාවට මෙන්ම පාරිභෝගික ජනතාවට වඩාත් විධිමත්, සෞඛ්‍යාරක්ෂිත සහ නවීන පහසුකම් සපිරි වෙළඳ පරිසරයක් හිමිවනු ඇත.

මෙම සමාරම්භක උත්සව අවස්ථාවන් අමතමින් අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පෙන්වා දුන්නේ, වංචාවෙන් හා දූෂණයෙන් තොර නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීමට වත්මන් රජය සමත් වී ඇති බවයි.

එම විනිවිදභාවය තුළින් ඉතිරි කරගත් මහජන මුදල් නැවත ජනතාව වෙතම ලබා දෙමින්, මෙවර අයවැය මගින් ජනතාවට සුවිශේෂී සහන රැසක් ලබා දීමට හැකි වූ බවත්, ධීවර කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම මුදලක් අයවැයෙන් වෙන් කිරීමට රජය පියවර ගත් බවත් අමාත්‍යවරු එහිදී සඳහන් කළහ.

එම ඓතිහාසික මූල්‍ය ප්‍රතිපාදනවල සෘජු ප්‍රතිඵලයක් ලෙස මෙරට ධීවර යටිතල පහසුකම් නවීකරණය කරමින් ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ඔවුහු පැවසූහ. පසු අස්වනු හානිය අවම කර ගනිමින් ධීවරයින්ගේ නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා දීමටත්, පාරිභෝගික ජනතාවට නැවුම් සහ ගුණාත්මක මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමටත් මෙවැනි සංවර්ධන ව්‍යාපෘති සෘජුවම ඉවහල් වන බව අමාත්‍යවරු එහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.