වර්තමාන සමාජය තුළ ස්වයං විනයක් සහ සමාජීය විනයක් ගොඩනැගීමෙන් තොරව, රටේ අනාගත දරුවන් සහ තරුණ පරපුර දුම්කොළ ව්‍යසනයෙන් මුදවාගෙන නිවැරදි මාවතකට යොමු කළ නොහැකි බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2026 ලෝක දුම්කොළ විරෝධී දිනය (World No Tobacco Day) සැමරීම වෙනුවෙන් කොළඹ ටාජ් සමුද්‍රා (Taj Samudra) හෝටල් පරිශ්‍රයේදී ඊයේ (15) පැවැති ජාතික උත්සවය ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින්.
මෙම විශේෂ ජාතික වැඩසටහන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබුණා.
මෙහිදී සභාව ඇමතූ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා මෙසේ පැවසුවා.
“අද සමාජයේ වගකිවයුතු වැඩිහිටි පුරවැසියන් ලෙස අප සැමගේ ප්‍රධානතම වගකීමක් වන්නේ අනාගත පරපුරට දුම්කොළ සහ මද්‍යසාර භාවිතයෙන් තොර නිවැරදි මාවත පෙන්වා දීමයි. සමාජීය විනයක් නොමැතිව අපට අපේ දරුවන් නිවැරදි මාවතකට ගන්න බැහැ.
ඔබ දුම්කොළ භාවිත කරනවා නම් ඉන් විනාශ කරගන්නේ ඔබේ ජීවිතය පමණක් නෙවෙයි; ඔබ ආදරය කරන, ඔබව විශ්වාස කරන ඔබේ සමීපතමයන්ගේ ජීවිතත් ඔබ විසින්ම විනාශයට ඇද දමනවා. ඔබේ සමීපතමයෙකු හෝ ඔබ අවට සිටින යම් අයෙකු මේ වන විටත් දුම්වැටි හෝ මද්‍යසාර භාවිතයට ඇබ්බැහි වී සිටින්නේ නම්, එමගින් ඔවුන්ගේ සෞඛ්‍යයට සිදුවන දරුණු ආදීනව පෙන්වා දීමටත්, ඒ පිළිබඳව හඬ නැගීමටත් කිසිසේත්ම බිය විය යුතු නැහැ. ඔබේ ආදරණීයයන් මේ මාරක ව්‍යසනයෙන් මුදවා ගන්න.”
මෙම අවස්ථාවට සහභාගි වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසුවේ, ශ්‍රී ලංකා රජය ‘දුම්කොළවලින් තොර පරපුරක්’ (Tobacco-Free Generation) බිහිකිරීමේ දැක්ම වෙනුවෙන් නිල වශයෙන් ප්‍රතිඥා දෙන බවයි.
“තරුණ පරපුර දුම්කොළ සහ නවතම නිකටීන් නිෂ්පාදනවලට ඇබ්බැහි වීමෙන් ආරක්ෂා කර ගැනීම ජාතික වගකීමක්. බහුතරයක් දුම්කොළ පරිභෝජකයින් සිය ඇබ්බැහි වීම ආරම්භ කරන්නේ නව යොවුන් වියේදියි. එම නිසා පිළිකා, හෘද රෝග වැනි බෝ නොවන රෝග පාලනය සඳහා ඇති එකම සහ වඩාත්ම ඵලදායී ක්‍රමය වන්නේ තරුණ පිරිස් දුම්වැටි සඳහා යොමුවීම මුල් අවස්ථාවේදීම වැළැක්වීමයි.
කර්මාන්තයේ විවිධ සූක්ෂ්ම උපක්‍රම හමුවේ රජය දැඩි අවධානයෙන් කටයුතු කරන අතර, මාධ්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට සහ දුම්කොළ පාලන නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා.”


