බදුල්ලටත් තැඹිලි ගම්මාන

“Ceylon King Coconut Village – 250” ජාතික වැඩසටහනට සමගාමීව බදුල්ල දිස්ත්‍රික් තැඹිලි ගම්මාන ස්ථාපිත කිරීමේ සමාරම්භක උත්සවය අද (18) පස්සර, තොලබෝවත්ත ප්‍රදේශයේදී සාර්ථකව පවත්වන ලදී.

දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර පසුගිය සැප්තැම්බර් 02 දින ආරම්භ වූ අතර, ඊට සමගාමිව බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන මෙලෙස දියත් කෙරුණා.

මෙහිදී සංකේතාත්මකව තැඹිලි වගාකරුවන් හට තැඹිලි පැළ 500ක් බෙදා දීම සිදු කළ අතර, පොල් ඉඩම් පුනරුත්ථාපන වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමද සිදු කර ඇත.

මෙම දැවැන්ත ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ 2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් ඉහළ නැංවීම මෙන්ම, තැඹිලි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 12කට වැඩි අගයකින් වර්ධනය කිරීමයි.

ඒ අනුව, 2026–2028 කාලසීමාව තුළ නව තැඹිලි වගා ව්‍යාප්තිය සඳහා තැඹිලි පැළ 212,500ක් රෝපණය කිරීමටත්, දැනට පවතින තැඹිලි වගාවන්හි ගස් 221,500ක් පුනරුත්ථාපනය කිරීමටත් සැලසුම් කර ඇත.

නව වගා බිම් ප්‍රමාණය පුළුල් කිරීම මෙන්ම පවතින තැඹිලි ගස්වල ඵලදායිතාව ඉහළ නැංවීම තුළින් තැඹිලි නිෂ්පාදනයේ ප්‍රමාණය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ.

එමෙන්ම, තැඹිලි වගාවේ ඵලදායිතාව සහ අස්වැන්නේ ස්ථාවරභාවය තහවුරු කිරීම සඳහා තැඹිලි වගා භූමි අක්කර 500ක් ආවරණය වන පරිදි ජල සම්පාදන පද්ධති ඉදිකිරීමට ද මෙම වැඩසටහන යටතේ සැලසුම් කර ඇත.

විධිමත් ජල කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම තුළින් වියළි කාලසීමාවලදී වගාවන් ආරක්ෂා කර ගනිමින් ස්ථාවර හා ගුණාත්මක අස්වැන්නක් ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙහි අරමුණයි.

තවද, තැඹිලි වගාව ස්ථාපිත කිරීමේ අදියරේ සිට අස්වැන්න නෙළීම, ප්‍රවාහනය, සැකසීම සහ අපනයනය දක්වා වූ සමස්ත වටිනාකම් දාමය විධිමත්ව කළමනාකරණය කිරීම සඳහා වගාකරුවන්, තැඹිලි එකතුකරන්නන් සහ අපනයනකරුවන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන් සම්බන්ධ කෙරෙන නව විධිමත් දත්ත පද්ධතියක් ද ස්ථාපිත කිරීමට නියමිතය.