ඉරානයේ ඝාතනයට ලක්වූ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි වෙනුවෙන් පැවැත්වුණු දෙදින මහජන ගෞරව දැක්වීමේ කටයුතු අවසන්ව ඇති අතර ටෙහෙරාන් නුවරදී අද පැවැත්වෙන අවමංගල්‍ය පෙරහැර සඳහා මිලියන සංඛ්‍යාත ජනතාවක් සහභාගී වීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත්, අලි කමේනිගේ පුතුන් මෙම ආගමික වතාවත් සඳහා කලාතුරකින් සිදුවන ප්‍රසිද්ධ පෙනී සිටීමක් සිදුකර ඇතත්, ඔහුගේ අනුප්‍රාප්තිකයා වන මොජ්තබා කමේනි මෙතෙක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම දැඩි අවධානයට ලක්ව පවතිනවා.
ඉරාන බලධාරීන් පවසන පරිදි “සියවසේ අවමංගල්‍යය” ලෙස නම් කර ඇති මෙම අවස්ථා මාලාව සඳහා මිලියන විස්සකට ආසන්න ජනකායක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරනවා.
පසුගිය ඉරිදා පැවැති ආගමික වතාවත් සඳහා ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ඇතුළු පාලන තන්ත්රයේ ප්‍රබලයින් සහ අලි කමේනිගේ අනෙකුත් පුතුන් තිදෙනා සහභාගී වී සිටියද, නව නායක මොජ්තබා එහි දක්නට ලැබුණේ නැහැ.
ඔහුගේ පියා ඝාතනය වූ ගුවන් ප්‍රහාරයෙන් මොජ්තබා ද තුවාල ලබා ඇති බවට හෝ ඊශ්‍රායල ප්‍රහාරයකට ලක්වීමේ බියක් හේතුවෙන් ඔහු මෙලෙස සැඟව සිටින බවට දේශපාලන වාර්තා පෙන්වා දෙනවා.
දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන මෙම අවමංගල්‍ය පෙරහැරෙන් පසුව, දේහය කූම් නගරය සහ ඉරාකය වෙත රැගෙන ගොස් ලබන බ්‍රහස්පතින්දා ඔහුගේ උපන් ගම වන මෂාද්හිදී භූමදානය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
