ලෝක කුරුඳු වෙළඳපොළ ජයගන්න ඇමති ලාල්කාන්තගෙන් නව සැලසුමක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

මෙහිදී කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ ඉදිරි වැඩසටහන් ඇතුළත් මාර්ග සිතියම ඉදිරිපත් කරන ලදී.

මේ වනවිට ලෝකය පුරා ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත් ලෝකයේ සැබෑ කුරුඳුවලින් 80%ක් ශ්‍රී ලංකාව විසින් නිෂ්පාදනය කරනු ලබනවා.

දැනට වාර්ෂිකව කුරුඳු නිෂ්පාදනය මගින් ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 260ක් උපයනු ලබන අතර, ඉදිරියේදී එම ඉලක්කය අමෙරිකානු ඩොලර් මිලියන 300ක් දක්වා වර්ධනය කිරීම කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුණ වී ඇත.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන දත්ත අනුව අක්කරයක කුරුඳු වගාව මගින් කිලෝග්‍රෑම් 250ක අස්වැන්නක් ලබා ගත හැකි අතර, එය කිලෝග්‍රෑම් 400 දක්වා ඉහළ නැංවීමේ හැකියාවක් පවතී.

කුරුඳු කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටළු කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා.

කැෂියාවලින් ඇතිවන තරගකාරීත්වය, අඩු මිල ගණන් සහිත වෙළඳපොළ මත යැපීම, අපනයනකරුවන් කිහිප දෙනෙකු අතර පවතින වෙළඳපොළ ඒකාධිකාරය, සීමිත පර්යේෂණ සහ සංවර්ධන, දුර්වල වෙළෙඳ නාමකරණය මේ අතර වේ.

කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම සඳහා වෙළඳපොළ පුළුල් කිරීම, වෙළඳපොළ විනිවිද යාම, අගය එකතු කළ ශ්‍රී ලංකා කුරුඳු නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, දේශීය වගාකරුවන්ගේ ආදායම් වැඩි කිරීම වැනි ක්‍රියාමාර්ග ගතයුතුව ඇති බව මෙහිදී කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.

දැනට ඉදි වෙමින් පවතින ජාතික කුරුඳු කර්මාන්තය ආශ්‍රිතව සංස්කෘතික ප්‍රවර්ධන මධ්‍යස්ථානය පිළිබඳව මෙහිදී අමාත්‍යවරයාව දැනුවත් දැනුම්වත් කරන ලදී.

එමෙන්ම අතුරු බෝගයක් ලෙස කුරුඳු වගා කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී විමසා බලන ලදී.