අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට නොවැම්බර් මස 30 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.
මෙම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විමල් වීරවංශ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබුණද ඔහු නඩු කරය කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියේ නෑ.
ඒ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්
වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාර විමල් වීරවංශ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබුණද ඔහු අධිකරණය හමුවට පැමිණ නොමැති බව සඳහන් කළා.
වග උත්තරකරු වෙත නොතීසි නිසි පරිදි ලැබී නොමැති බව පෙනී යන හෙයින් ඔහුට යළි නොතීසි නිකුත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල වග උත්තරකරුට නොවැම්බර් මස 30 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යළි නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා.
ඉකුත්දා අනුරාධපුර ප්‍රදේශයේ පැවති දේශපාලන රැළියකදී පළකරනු ලැබූ අදහස් වලින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
