වොෂින්ටන් අගනුවර වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී. අගනුවර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් තවත් සිව්දෙනෙකු තුවාල ලැබූ අතර එක් අයෙකුගේ තත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

වෙඩි තැබීම සිදුව ඇත්තේ ධවල මන්දිරයට ආසන්න ප්‍රදේශයකදි.

සැකකරු ද සියදිවි නසාගැනීමේ අරමුණින් වෙඩි තබාගැනීමකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් තිබෙනවා.

ඔහු පනස් පස් හැවිරිදි මැට් ලැම්බර්ට් නමැත්තෙකු බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

තුවාල ලැබු සිව්දෙනාට සැකකරු විසින් වෙඩි තබා ඇත්තේ සිය මහල් නිවාසයේ සඳළුතලයේ සිටයි.

සිද්ධියෙන් අනතුරුව මහල් නිවාස සංකීර්ණය අවට ආරක්ෂාව තරකර තිබෙනවා. වොෂින්ටන් නගරයේ වීදි පුරා ද දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

වෙඩි තැබු පුද්ගලයා සිය පෞද්ගලික වෙබ් අඩවියේ තමන් පළපුරුදු වෛද්‍යවරයෙකු, උපදේශකයෙකු සහ ව්‍යවසායකයෙකු ලෙස හඳුන්වා දී තිබෙනවා.

සෞඛ්‍ය සේවා සහ තාක්ෂණික උපදේශන ආයතනයක නිර්මාතෘවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද ඔහු ක්‍රියා කර ඇති බවයි වාර්තා වන්නේ.