හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා පුතුන් වන නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩු තුනක් අද (13) විභාගයට ගැනීමට නියමිතයි.
ඒ අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් ‘සිරිලිය සවිය’ සංවිධානයේ ගිණුමකට බැර කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා යටතේ ශිරන්ති රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති ක්‍රිෂ් නඩුවද එම අධිකරණය ඉදිරියේ කැඳවීමට නියමිතයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයේ සැකකරුවකු වූ නාමල් රාජපක්ෂ මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සැප්තැම්බර් 30 වැනිදා ඇප නියම කළා.
එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පවරා ඇති නඩුවේ ඇප ඉල්ලීම සලකා බැලීම අද (13) සිදුවෙනවා.
එම නඩුවට අදාලව ඔහු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙම නඩුවලට අමතරව නිසි අධ්‍යාපනික සුදුසුකම් නොමැතිව නාවික හමුදා විධායක ශිෂ්‍යභට නිලධාරියකු ලෙස බඳවාගෙන රජයට පාඩු කළ බවට චෝදනා කර යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද (13) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව ඇත.
