සාම පාගමනට නියෝජ්‍ය ඇමති කෞෂල්‍යා සහභාගී වෙයි

පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් ලෝකයටම සාමයේ පණිවිඩය ලබාදීමේ අරමුණින් සංවිධානය කර ඇති ‘ඒහිපස්සිකෝ’ ජාත්‍යන්තර සාම පාගමනෙහි (Walk for Peace Program in Sri Lanka) අද (27) දින ගමන් වාරය සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සහභාගී වී තිබෙනවා.

ඊයේ (26) දින තෝලංගමුව ජාතික පාසලෙන් ආරම්භ වී රාත්‍රිය වන විට යක්කල අබේසේකරාරාමය දක්වා ගමන් කළ මෙම සාම පාද යාත්‍රාව, අද (27) උදෑසන යක්කලින් යළි ආරම්භ කර මේ වන විට කැලණිය රජමහා විහාරස්ථානය දක්වා ගමන් කරමින් පවතියි.

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය ද එම අවස්ථාවට එක් වෙමින් සාම පා ගමනේ යෙදෙන මහා සංඝරත්නයට සිය අභිමානවත් ගෞරවය පුද කළා.

දැඩි හිරු රශ්මිය ද නොතකා දහස් සංඛ්‍යාත ජනතාවක් මෙම සාම පාද යාත්‍රාවට සහභාගී වී සිටිනවා.

උණුසුම හේතුවෙන් මාර්ගය රත්වීමෙන් පා ගමනේ යෙදෙන මහා සංඝරත්නයට සිදුවන පීඩාව අවම කිරීම උදෙසා මාර්ගයේ කෙසෙල් කොළ සහ පාවඩ එළීමටත්, මල් අතුරා ගෞරව දැක්වීමටත් බැතිමතුන් කටයුතු කළා.