හාලන්ඩ්ගේ ගෝල ද්විත්වයෙන් බ්‍රසීලය ඉවතට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නෝර්වේ කණ්ඩායම සමත්වුනා.

නෝර්වේ සහ බ්‍රසීල කණ්ඩායම් අතර සුපිරි 16 වටයේ තරගය පැවැත්වුණේ නිව්යෝර්ක් හිදී.

එම තරගය නැරඹීමට අසූ දහසකට අධික ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩාංගණයට පැමිණ සිටියා.

පළමු අර්ධයේදී දෙපිළම තියුණු තරග රටාවක නිරත වූ අතර එම අර්ධය නිමාවුනේ කිසිදු ගෝලයක් ලබාගැනීමට පෙරයි.

අනතුරුව තරගයේ 79 වැනි සහ 90 මිනිත්තුවලදී අර්ලින් හාලන්ඩ් නෝර්වේ කණ්ඩායම වෙනුවෙන් ගෝල දෙකක් වාර්තා කළා.

අනතුරුව තරගය අවසන්වීමට මිනිත්තු කිහිපයක් තිබියදී බ්‍රසීලයද එක් ගෝලයක් ලබාගත්තා.

ඒ අනුව ගෝල 2ට , 1ක් ලෙස තරගය ජයගත් නෝර්වේ කණ්ඩායම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

බ්‍රසීලය 1990 වසරේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් පසු අර්ධ අවසන් පූර්ව වටයට පෙර ලෝක කුසලානයෙන් ඉවත්වූ පළමු අවස්ථාව මෙයයි.

මේ අතර නෝර්වේ කණ්ඩායම පාපන්දු ‍ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.