සාමයේ ලියවිලි මැද යළි ඇවිළෙන යුද ගින්න

සාන්ත පීටර්ස්බර්ග්හි පැවැති වාර්ෂික ආර්ථික සමුළුව අමතමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කියා සිටියේ යුක්‍රේන ජනාධිපතිවරයාගේ ලිපිය මුහුණට මුහුණ හමුවීමක් මඟහැරීම සඳහා කරන ලද උපක්‍රමයක් බවයි.

පවතින තත්ත්වය යටතේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළහොත් එයින් යුක්‍රේන හමුදාවලට නැවත සංවිධානය වීමට අවස්ථාව ලැබෙන බව රුසියාව පෙන්වා දෙනවා.

රුසියාව අපේක්ෂා කරන දිගුකාලීන එකඟතාවලට පැමිණෙන තෙක් සහ තමන් පනවා ඇති කොන්දේසි ඉටුවන තෙක් මිලිටරි ක්‍රියාමාර්ග අවසන් නොකරන බවද ජනාධිපති පුටින් අවධාරණය කරනවා.

මේ අතර රුසියානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ රුසියාව නැවත වරක් සාමය වෙනුවට යුද්ධය තෝරාගෙන ඇති බවයි.

රුසියාවට යුද්ධය නැවැත්වීමේ සැබෑ වුවමනාවක් නොමැති බවත්, මොස්කව් පාලනයේ මෙම තීරණය හේතුවෙන් ලෝක ප්‍රජාව දැඩි කලකිරීමට පත්ව ඇති බවත් සෙලෙන්ස්කි පවසනවා.

මෙම දේශපාලන නොසන්සුන්තාව මධ්‍යයේ දෙපාර්ශවය අතර පවතින යුද ගැටුම් තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව වාර්තා වනවා.

යුක්‍රේන හමුදා විසින් අසොව් මුහුදේ ගමන් ගත් රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකා පහකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අසර්බයිජාන විදේශ අමාත්‍යාංශය තහවුරු කරනවා.

එසේම රුසියාව විසින් යුක්‍රේනයේ කීව් සහ කර්සන් ඇතුළු ප්‍රදේශ කිහිපයකට එල්ල කළ දරුණු ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් දහතුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හැත්තෑ දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේන බලධාරීන් ප්‍රකාශ කරනවා.