අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමේ ඓතිහාසික එකඟතාවකට එළඹීමත් සමඟ ඉරානයට පනවා තිබූ නාවික අවහිරතාව ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබෙනවා.
දෙරට අතර ඇති කරගත් මෙම ද්විපාර්ශ්වික එකඟතාවත් සමඟ කලාපීය සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් නව පරිච්ඡේදයක් ආරම්භ වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව ඉරාන මුහුදු සීමාවේ පනවා තිබූ නාවික අවහිරතා ඉවත් කළ බව අමෙරිකානු මධ්‍යම බලඇණිය තහවුරු කර සිටිනවා.
මෙම එකඟතාව පිළිබඳව ප්‍රථම වරට නිල ප්‍රකාශයක් කරමින් ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනි පවසන්නේ, අමෙරිකානු ජනාධිපතිවරයා දැඩි අසරණභාවයට පත්ව මෙම ගිවිසුමට එළඹ ඇති නමුත් ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන බවට එරට ජනාධිපතිවරයා දුන් සහතිකය මත තමන් මෙයට අනුමැතිය දුන් බවයි.
කරුණු 14 කින් සමන්විත මෙම එකඟතාවයට හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සහ ඩොලර් බිලියන 300 ක ප්‍රතිසංස්කරණ අරමුදලක් පිහිටුවීම ඇතුළත් වන අතර ඉදිරි දින 60 ක් ඇතුළත අවසන් එකඟතාවකට පැමිණීමට දෙපාර්ශවයම බැඳී සිටිනවා.
මේ අතර ස්විට්සලන්තයේ පැවැත්වීමට තිබූ නිල අත්සන් තැබීමේ උත්සවය අවලංගු වී තිබෙනවා.
දෙරටේ නියෝජිතයන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දුරස්ථව ඊට අත්සන් තැබීම නිසා මෙම තීරණය ගෙන ඇති අතර, ඉදිරි තාක්ෂණික සාකච්ඡා සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඉදිරියේදී ස්විට්සලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
