අමෙරිකාවෙන් ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක්

එක්සත් ජනපදය විසින් ඉරානය ඉලක්ක කරගනිමින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා.

මෙයට පෙර අමෙරිකානු හමුදාවන්ට එල්ල වූ ප්‍රහාරවලට පිළිතුරු වශයෙන් මෙම පියවර ගත් බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

මෙම ප්‍රහාර මාලාවත් සමඟ ඉරානයේ දකුණු දිග ප්‍රදේශ රැසකින් සහ කේෂ්ම් (Qeshm) දූපතේ ප්‍රබල පිපිරුම් හඬවල් කිහිපයක් වාර්තා වී තිබෙනවා.

අමෙරිකානු තර්ජන හමුවේ සිය ප්‍රතිරෝධය නොනවත්වා ඉදිරියට ගෙන යන බවත්, හෝමුස් සමුද්‍ර සන්ධිය අසල ආරක්ෂක තත්ත්වය දැඩි කර ඇති බවත් ඉරාන පාලක අංශ සඳහන් කරනවා.

එක්සත් ජනපද සෙන්ට්කොම් (CENTCOM) ආයතනය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට එල්ල වූ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම එක්සත් ජනපද ගුවන් ප්‍රහාර දියත් කළ බවයි.

මෙම හමුදා මෙහෙයුම් මගින් ඉරානයේ හමුදා ඉලක්ක රැසකට දැඩි හානි සිදුව ඇති බව එක්සත් ජනපද වාර්තා පෙන්වා දෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ප්‍රකාශ කර ඇත්තේ ඉරානයට එරෙහිව දැඩි ලෙස හමුදා බලය භාවිතා කරන බවත්, අමෙරිකානු පාර්ශ්වයේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බවත්ය.