කිලෙඑයා යළි සක්‍රීය වෙයි

ඇමෙරිකාවේ හවායිහි පිහිටි කිලෝඒ (Kilauea) ගිනිකන්ද යළිත් වරක් සක්‍රිය වී තිබෙනවා. ඒ අනුව ගිනිකඳු අභ්‍යන්තරයේ පිහිටි උතුරු විවරයෙන් අඩි සිය ගණනක් ඉහළට ලාවා විදීම ආරම්භ වී ඇති බව යි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ගුවන් ගමන් සහ ආපදා ආරක්ෂණ තත්ත්වය ඉහළ දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ගිනිකන්දේ කුහරය තුළින් හදිසියේ ම ආරම්භ වූ මෙම සක්‍රිය වීමත් සමඟම මීටර් 90 ත් 150 ත් අතර ප්‍රමාණයකට ඉහළට ලාවා උල්පත් මතුවූ බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා. මේ වන විටත් නැගී එන ලාවා දහරාවලින් ගිනිකඳු පතුලෙන් සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයක් වැසී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පවතින දැඩි අවදානම් තත්ත්වය හමුවේ ගිනිකන්ද ආශ්‍රිත කලාපයට මහජනතාව ඇතුළු වීම සම්පූර්ණයෙන් ම තහනම් කර තිබෙනවා.

තවද ප්‍රදේශයට ඇති විය හැකි ෆවුස්ටෝ (Fausto) නිවර්තන කුණාටුවේ සුළං සමඟ ගිනිකඳු වායු සහ අළු පැතිර යා හැකි බැවින් අහිතකර වායුගෝලීය තත්ත්වයන් පිළිබඳව ද පහළ ප්‍රදේශවල වැසියන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ලොව වඩාත් ම සක්‍රිය ගිනිකන්දක් වන කිලෝවේයාහි මීට සති කිහිපයකට පෙර සිටම පෘථිවි අභ්‍යන්තර මැග්මා පීඩනය ඉහළ යමින් පැවති බවයි, විද්‍යාඥයන් වැඩිදුරටත් කියා සිටින්නේ.