වියට්නාමය සහ මෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹෙයි

වියට්නාමය සහ මෙරට අතර ඍජු ගුවන් සේවා නිල වශයෙන් ආරම්භ කරමින්, වියට්නාම් එයාර් ලයින්ස් සමාගමට අයත් ප්‍රථම මංගල ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

වියට්නාමයේ හෝ චි මින් නුවර සිට පැමිණි වී.එන්.-671 දරන මෙම එයාර් බස් ඒ.-320 වර්ගයේ ගුවන් යානය ඊයේ (16) රාත්‍රී 11.02 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

එය සාම්ප්‍රදායික ජල ආචාර පවත්වමින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙම ප්‍රථම ගුවන් ගමන සඳහා ගුවන් මගීන් 164 දෙනෙකු පැමිණ සිටි අතර, එම ගුවන් යානයෙන්ම යළිත් මගීන් 172 දෙනෙකු වියට්නාමය බලා පිටත්ව ගියහ. 

මෙම ඍජු ගුවන් සේවාව යටතේ සතියකට දින 03ක්, එනම් ඉරිදා, බදාදා සහ සිකුරාදා යන දිනවල කටුනායක සහ වියට්නාමය අතර ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර එක් ගමන් වාරයක් සඳහා පැය 04යි විනාඩි 30ක කාලයක් ගතවේ.