රුසියා-යුක්‍රේන සටන උණුසුම් – දෙපාර්ශවයෙන්ම ප්‍රහාර වැස්සක්

රුසියාව සහ යුක්‍රේනය අතර පවතින සටන් දැඩි වෙමින් දෙපාර්ශවයම එකිනෙකා වෙත ප්‍රබල ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

යුක්‍රේනය එල්ල කළ ප්‍රහාරවලින් රුසියානු භූමිය තුළ පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රුසියාව එල්ල කළ ප්‍රහාරවලින් යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ සුමි කලාපවල පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

පසුගිය පැය 24 පුරා රුසියාවේ බෙල්ගොරොඩ් සහ අස්ට්‍රාකාන් කලාප ඉලක්ක කරගනිමින් යුක්‍රේනය එල්ල කළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව රුසියානු බලධාරීන් පවසනවා.

ඊට අමතරව රුසියානු හමුදාවලට සැපයුම් ලබාදෙන බවට චෝදනා කරමින් රුසියාවේ ප්‍රධාන පෙළේ බාණ්ඩ බෙදාහැරීමේ මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමටද යුක්‍රේනය කටයුතු කර තිබෙනවා.

මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් රුසියානු හමුදාවන් ද යුක්‍රේනයේ සුමි, ඩොනෙට්ස්ක් සහ ඔඩෙසා ඇතුළු ප්‍රදේශ ගණනාවකට මාරාන්තික ඩ්‍රෝන සහ ගුවනින් හෙළන බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරවලින් යුක්‍රේනයේ වෙළඳ සංකීර්ණ, නේවාසික ගොඩනැගිලි මෙන්ම බලශක්ති පද්ධතිවලටද දැඩි හානි සිදුව ඇති බව යුක්‍රේන බලධාරීන් කියා සිටිනවා.

රුසියාව තුළ පවතින හමුදාමය සහ සැපයුම් ඉලක්ක වෙත එල්ල කරන මෙවැනි දීර්ඝ පරාසයක ප්‍රහාර ඉදිරියටත් සිදුකරන බවයි යුක්‍රේන බුද්ධි අංශ ප්‍රකාශ කරන්නේ.

මේ අතර පසුගිය සතිය තුළ පමණක් රුසියාව විසින් යුක්‍රේනය වෙත ප්‍රහාරක ඩ්‍රෝන සහ මිසයිල 1,500කට අධික ප්‍රමාණයක් එල්ල කර ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි වැඩිදුරටත් පවසනවා.