ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, රාජ්‍ය ආයතන සඳහා වඩාත් පහසු සහ සංවිධානාත්මක පරිපාලන පරිසරයක් නිර්මාණය කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස සෙත්සිරිපාය තෙවන අදියර කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම අද (28) දින සිදු කෙරුණා.
ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන්.
2019 වසරේ ඉදිකිරීම් ආරම්භ කරන ලදුව විවිධ අර්බුද හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අතරමග නවතා දමා තිබිණි.
සෙත්සිරිපාය තෙවන අදියර කාර්යාල සංකීර්ණය මහල් 25 කින්, වර්ග අඩි දහතුන්ලක්ෂ පනස්නවදහස් හාරසිය තිස්නවයක වපසරියකින් යුක්තය.
රුපියල් බිලියන 33.02 ක ආයෝජනයකින් මෙහි ඉදිකිරීම් සිදුකෙරෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය සමග බලශක්ති අමාත්‍යංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යන ආයතන සමපාර්ශ්වකාරිත්වයෙනි.
එසේම වෙනත් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන සඳහා නවීන කාර්යාල පහසුකම්, සම්මන්ත්රණ ශාලා, මහජන සේවා මධ්‍යස්ථාන, වාණිජ පහසුකම් සහ රථ ගාල් කිරීමේ පහසුකම් සහිතව මහජන සේවාවන් ලබාදීමට හැකිවන පරිදි මෙය නිර්මාණය කෙරේ.
මාස තිහක් ඇතුළත මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇත.
