සවුදියේ ගුවන්තොටුපොළවල් 2කට හූති ප්‍රහාර

සවුදි අරාබියේ අබ්හා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සහ රියාද් නුවර කිං කාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එල්ල වූ හූති ප්‍රහාරවලින් සිවිල් වැසියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් සවුදි සිවිල් ගුවන්සේවා අධිකාරිය නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මියගිය පිරිස අතර මොරොක්කෝ, අල්ජීරියානු සහ සුඩාන ජාතිකයින් සිටින බවයි.

අබ්හා ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාරයෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 28 දෙනෙකු තුවාල ලබා ඇති අතර, රියාද් නුවර ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාරයෙන් සුඩාන ජාතිකයෙකු මියගොස් සවුදි ජාතිකයින් පස්දෙනෙකු ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අදාළ ප්‍රහාරයන්ගෙන් සිදුවූ හානිය ගණනය කරමින් මගීන්ගේ මෙන්ම සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ සමඟ එක්ව කටයුතු කරන බවයි සවුදි සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසන්නේ.

මෙහිදී රියාද් නුවරට උතුරින් හූති බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්අඩංගුවට ගැනීමට සවුදි අරාබිය ප්‍රමුඛ සන්ධාන හමුදාව සමත්ව තිබෙනවා.

මීට අමතරව යේමනයේ සනා අගනුවර පිහිටි මිසයිල දියත් කිරීමේ වේදිකාවක් ද සවුදි හමුදා විසින් විනාශ කර ඇති බවයි සවුදි සන්ධාන හමුදා ප්‍රකාශක ජෙනරාල් තුර්කි අල් මාලිකි සඳහන් කරන්නේ.

මේ අතර පවතින උග්‍ර ආරක්ෂක තත්ත්වය හමුවේ සවුදි අරාබියේ වෙසෙන ඇමෙරිකානු ජාතිකයින්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස රියාද් හි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.