රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්

රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්‍ෂම කිරීම සඳහා රාජ්‍ය නිලධාරින්ට ඩිජිටල් අත්සන් හඳුන්වා දී තිබෙනවා.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරන වැඩපිළිවෙලේ එක් පියවරක් ලෙස එය ක්‍රියාත්මක බවයි, රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා කියා සිටියේ.

රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරින්ට ඩිජිටල් අත්සන හඳුන්වා දීම ඊ‍යේ සිදු කෙරුණා.

“2006 – අංක 19” දරන ඉලෙක්ට්‍රෝනික ගනුදෙනු පනත පරිදි එම අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ සිටින නිලධාරින්ගේ අත්සන් “ඩිජිටල්කරණ ක්‍රියාවලිය” මෙහිදී ආරම්භ වුණා.

ඉලෙක්ට්‍රෝනික ගනුදෙනු පනතේ විධිවිධාන ප්‍රකාරව “ලංකා පේ ආයතනය” ඩිජිටල් අත්සන් සහතික කිරීමේ ආයතනයයි.

මේ අනුව ලිපි මගින් කටයුතු කිරීමේ දී ඇති වන ප්‍රමාදයන් වළක්වා ගත හැකි වන අතර, වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවන් ලබා ගත හැකියි.