සතිෂ් ගමගේ තවදුරටත් රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් මුදල් විශුද්ධිකරණ  චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. 

ඒ අනුව සැකකාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළා.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුසිතා ජයනෙත්මි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුගේ සහ ඔහුගේ දියණියගේ බැංකු ගිණුම් වලට රුපියල් ලක්ෂ 250 කට අධික මුදලක් තැන්පත් වී තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා. 

අදාල බැංකු ගිණුම් වලට රුපියල් පන්දහස, හය දහසේ සිට රුපියල් ලක්ෂය දෙක වැනි වටිනාකම් වලින් මුදල් තැන්පත් වී තිබෙන බව පැවසු සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය එම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් විසින්  තැන්පත් කර තිබෙන බවට කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කර සිටියා. 

මෙම මුදල් තැන්පත් කළ පුද්ගලයින් පිළිබඳව වෙන් වෙන්ව පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය වී තිබෙන බව පැවසූ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම සැකකරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් තමන්ගේ බලය අයුතු ලෙස ක්‍රියාවේ යොදවමින් එම දූෂිත කටයුතු සිදු කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි බවත් සඳහන් කළා.

මේ වන විට විමර්ශනවලින් අනාවරණය වී තිබෙන කරුණු වලට අනුව මෙම සැකකරු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර තිබෙන බවට කරුණු ඉදිරිපත් වී තිබෙන බවත් ඇය පැවසුවා.

මෙම සැකකරු දැනටමත් සාක්ෂිකරුවෙකුට බලපෑම් සිදු කර තිබෙන බවට කරුණු අනාවරණය වී ඇති බවත් මෙම තත්ත්වය මත මෙම සැකකරු ඇපමත මුදාහරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් ඇය පෙන්වා දුන්නා. 

ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු ආරම්භ වී තිබෙන්නේ 2024 වසරේ සිට බවත් එතැන් පටන් මේ දක්වා මෙම සැකකරු කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් සිදුකළ බවට පැමිණිලි ඉදිරිපත් වී නොමැති බවත් කියා සිටියා. 

මෙම සැකකරු විසින් ලබාගත්තේ යැයි කියන මුදල් තැන්පත් කර තිබෙන බැංකු ගිණුම් කිහිපයක් නානායක්කාර නමැත්තෙකුගේ විසින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් බවත් එහි පවතින මුදල් තමන්ගේ බවට එම නානායක්කාර නමැත්තා කලින් ප්‍රකාශ කර තිබුණද දැන් එම ස්ථාවරය වෙනස් කරමින් එහි තිබෙන මුදල්  මෙම සැකකරුගේ මුදල් බවට ඔහු විසින් අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක් ලබාදී ඇතැයි ද  නීතිඥවරයා සඳහන් කර සිටියා. 

අල්ලස් කොමිස්සම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් බේරී සිටීම සඳහා ඔහු එම දියුණු ප්‍රකාශය ලබාදී ඇතැයි සඳහන් කළ නීතිඥ අජිත් පතරණ මහතා මෙම සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර තිබෙන බවට කරුණු අනාවරණය නොවන හෙයින් ඔහු ඇපමත මුදාහරිණ ලෙසත් ඉල්ලා සිටියා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා කළ විමසීමකදී අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මුදල් තැන්පත් කිරීම් වලට අදාළව ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන තිබෙන බව පැවසුවා. 

ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ ලබාදීම මගහරිමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ පසුගිය නඩු දිනයෙන් පසු මේ දක්වා මෙම සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන සිදුවී තිබෙන බව අල්ලස් කොමිසම ඉදිරිපත් කරන වාර්තා වෙන් පෙනී යන බවයි. 

ඒ අනුව මෙම අවස්ථාවේ විමර්ශන නොමැතිව නිකරුණේ සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමක් දක්නට නොලැබෙන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියා.

සැකකරුගේ රෝගී තත්ත්වයන් ගැන අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබුණත් එම වාර්තාව තුළින් සැකකරුගේ වර්තමාන රෝගී තත්ත්වයන් පිළිබඳ තොරතුරු පිළිබිඹු නොවන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසුවා. 

ඒ අනුව මෙම අවස්ථාවේදී සැකකරුට ඇප ප්‍රදානය කිරීමට තරම් සාධාරණ කරුණු අනාවරණය නොවන හෙයින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළා. 

ඉන් අනතුරුව සැකකරු ලබන 30 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කලා.