විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී මූලික වටය යටතේ ඉන්දියාවට එරෙහිව මෙරටදී පැවැත්වෙන තරඟයට ක්‍රීඩා කරන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මෙම තරගය පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සැලසුම් කර තිබූ ලෙසම පැවැත්වෙනු ඇති.
මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්ථාන රජයට සිය ස්තුතිය පළ කර තිබෙනවා.
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පසුගිය 7 වැනිදා ආරම්භ කෙරුණා.
තරගාවලියේ තරග කාලසටහනට අනුව පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ ලබන 15 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්රීඩාංගණයේදීයි.
නමුත් බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කිරීමත සමග, ඔවුන්ට දක්වන සහයෝගයක් ලෙස පාකිස්ථාන කණ්ඩායම ඉන්දියාව සමග තරගය වර්ජනය කිරීමට තීරණය කර තිබුණා.
ඒ ගැටලුකාරීතත්වය දින 10 ක් පුරා පැවැති අතර මෙම තරගය වර්ජනය කිරීමේ තීරණය පිළිබඳ යළි සලකා බලන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්තාන රජයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබූ අතර එම තීරණයට ප්‍රතිචාර දක්වමින් පාකිස්තානු රජය සිය තීරණය වෙනස් කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අගමැති ශෙබාස් ශරීෆ් අතර ඊයේ (09) සිදුවූ දුරකතන සංවාදයක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් දරුණුතම ලෙස පීඩා විඳිමින් සිටි අවස්තාවේදී පවා පාකිස්තානය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සහාය දුන් ආකාරය ද ජනාධිපතිවරයා මෙහිදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට සිහිපත් කර තිබෙන බව සඳහන්.
ඊට ප්‍රතිචාර ලෙසින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා , ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පවසා ඇත්තේ දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සලකා, ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ඉන්දියාව සමග තරගයට ක්‍රීඩා කිරීම සදහා පකිස්ථාන කණ්ඩායම අනුමැතිය ලබා දෙන බවයි.
පාකිස්තානය සිය තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇත්තේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා ලෝලීන් උනන්දුවෙන් බලා සිටි ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැලසුම් කර ඇති පරිදී පැවැත්වීමට එකඟත්වය පළ කිරීම සම්බන්ධව තමන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ස්තූතිවන්ත වන බවයි.
ඒ අනුව ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ඒ කාණ්ඩයේ තරගයක් ලෙස පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගය ලබන 15 වැනිදා සැලසුම් කළ පරිදි පැවැත්වීමට නියමිතයි.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය රාත්‍රී 7 ට ආරම්භ වනවා.
