ග්‍රාමීය දිළිඳු බව තුරන් කර සමාජය සවිබල ගැන්වීමේ අභියෝගාත්මක මෙහෙයුමක් වන ප්‍රජා ශක්ති ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රජා සංවර්ධන කමිටු සභාපතිවරුන් හා ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදි අද පෙරවරුවේ (10) පැවැත්විණි.
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ගොඩනැගීම සඳහා වන ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම, ඩිජිටල් ආර්ථිකය, Clean sri lanka යන කුලුණු තුන යටතේ ක්‍රියාත්මක ප්‍රධාන වැඩසටහන් අතර දිළිඳුකම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් ලෙස ප්‍රජා ශක්ති වැඩසටහන සැලකේ.
‘ප්‍රජා ශක්ති’ වැඩසටහන යටතේ ආර්ථික සංවර්ධන නිලධාරීන් 16,000ක් ග්‍රාම සංවර්ධන කාර්යාංශයට අනුයුක්ත කර ඇති අතර, ග්‍රාම නිලධාරි වසම් 14,007ක් පුරා මෙම වැඩසටහන දිවයිනේ ක්‍රියාත්මකය.
වර්තමානය වන විට මුළු ජනගහනයෙන් පුද්ගලයින් හය දෙනෙකුගේ එක් අයෙකු බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන බවත්, ඉන් වැඩි පිරිසක් ග්‍රාමිය හා වතු ආශ්රිත ජනතාව බවත් මෙහි දී අවධාරණය කෙරිණි.
එම අන්ත දරිද්‍රතාවය තුරන් කිරීම සදහා සක්‍රීයව දායක විම සඳහා සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම ප්‍රජා සංවර්ධන සභා (CDC) සභාපතිවරුන් හා ලේකම්වරුන් දැනුවත් කිරීම මෙහිදි සිදු කෙරිණි.
සමුළුව අමතමින් අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ ප්‍රජා සංවර්ධන සභාව මගින් සමාජ විගණනයක් සිදු කිරීමට අවස්තාව සැලසෙන බවයි. එමෙන්ම රටේ දිළිඳුකම තුරන් කිරීම සඳහා රුපියල් මිලියන එක් ලක්ෂ අසූදහසක් පමණ මෙවර අයවැයෙන් වෙන්කර ඇති බවත් ඒ මහතා පවසා සිටියා.
මෙහි සමාරම්භය සඳහා,ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන, වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා, තිලංක යූ ගමගේ මහතා,ටී කේ ජයසුන්දර මහතා, සහ ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ මහතා ඇතුළු පළාත් පාලන නියෝජිතයින් රැසක්ද, ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් කපිල ගුණරත්න මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලෙකම් අයේෂා කාරියවසම් මහත්මිය ඇතුලු සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් මෙන්ම නිලධාරිින් රැසක්ද එක් ව සිටියහ.

