ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්තය ඊයේ සමත් වුණා. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති පළමු අර්ධ අවසන් පූර්ව තරගය කඩුලු 9 කින් ජය ගනිමින්. නවසීලන්ත කණ්ඩායමක් ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලැබු දෙවැනි අවස්ථාව මෙයයි.
තරගය පැවැත්වුණේ ඉන්දියාවේ කොල්කටාහි ඊඩ්න් ගාඩන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි. කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්තට පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකා කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 77 ක් තුළ දවා ගැනීමට නවසීලන්ත පන්දු යව්නන් සමත් වුණා. 6 වැනි කඩුල්ලට ට්‍රිසන් ස්ටබ්ස් සහ මාර්කෝ ජේසන් ලකුණු 73 ක සබඳතාවක් ගොඩ නැගීමට සමත්වුණා. ක්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 29, මාර්කෝ ජේසන් පන්දු 30 කදී නොදැවී ලකුණු 55 ක් රැස්කළා.
ඒ අනුව නියමිත පන්දුවාර 20 තුළ දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 169 ක් රැස්කළා. පන්දු යැවීමේදී මැට් හෙන්රි, කෝල් මැකොන්චි සහ රචින් රවීන්ද්‍ර කඩුලු 2 බැගින් දවාගත්තා.
පිළිතුරු ඉණිම ක්‍රීඩාකල නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 12 යි පන්දු 5 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 173 ක් ලබාගනිමින් තරගය ජයගත්තා. විශිෂ්ට ඉණිමක් ක්‍රීඩාකල ෆින් ඇලන් පන්දු 33 කදී නොදැවී ලකුණු 100 ක් ලබාගත්තා. ඊට 4 පහර 10 ක් සහ 6 පහර 8 ක් ඇතුළත්.
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගයකදී ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම ශතකය ලෙස එම ඉණිම වාර්තා අතරට එක්වුණා.
ටිම් සෙයිෆර්ට් ලකුණු 58 යි. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩක කගීසෝ රබාඩා කඩුල්ලක් දවාගත්තා.
ඒ අනුව 8 වැනිදා පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී තම පළමු ලෝක කුසලාන බලාපොරොත්තුව වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතයි. අවසන් තරගයට ක්‍රීඩා කරන අනෙක් කණ්ඩායම තීරණය කෙරෙන දෙවැනි අවසන් පූර්ව තරගය එංගලන්තය සහ ඉන්දීයාව අතර අද පැවැත්වෙනවා.
