මෙරට මහජනතාවගේ ප්‍රධානතම සාම්ප්‍රදායික උත්සවයක් වන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ දී මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
උත්සව සමය තුළ ජනතාවට සුරක්ෂිත සහ සාමකාමී වටපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබෙනවා.
ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් මෙම විශේෂ ආරක්ෂක යාන්ත්‍රණය ක්‍රියාත්මක කෙරෙන අතර, මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ මඟින් අලුත් අවුරුදු සමයේ දිවයින පුරා පැවැත්වෙන විවිධ උත්සව, සංගීත සංදර්ශන සහ ආගමික වැඩසටහන්වල දී ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණය කරනු ලබයි.
මේ සඳහා, කොළඹ පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇති අතර, එය ත්‍රිවිධ හමුදා නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක සම්බන්ධීකරණයෙන් යුතුව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මකයි.
මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය සමග පහත සඳහන් දුරකථන අංක සහ විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ විය හැක.
දුරකථන අංක – 011- 2013051 / 011- 2027148 / 011- 2027149 / 011- 2430912
විද්‍යුත් තැපැල් ලිපිනය – [email protected]
සියලුම ආරක්ෂක ආයතන අතර සමීප සහයෝගීතාව වර්ධනය කිරීම, තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම සහ ඕනෑම හදිසි හෝ ආරක්ෂක තත්ත්වයක දී ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම මධ්‍යස්ථානය හරහා පහසුකම් සපයනු ලබයි.
සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය තුළ සියලු ජනතාව වෙත සාමකාමී සහ සුරක්ෂිත පරිසරයක් සහතික කිරීම සඳහා ආරක්ෂක අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත උපරිම සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.