අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය අද හතරවන දිනටත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
මෙම විමර්ශනය පැවැත්වුණේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරිපිටයි.
මෙම පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මියගිය කපිල චන්ද්‍රසේන මහතා වූ පදිංචිව සිටි නිවසේ තිබී ඔහුගේ මුදල් පසුම්බි දෙකක් හමුවී තිබෙන බව සඳහන් කළා.
ඔහුගේ නිවසේ සේවය කළ සේවිකාවක විසින් එම නිවස පිරිසිදු කිරීමේදී මෙම මුදල් පසුම්බි දෙක හමුවී තිබෙන බවත් පොලිසිය පැවසුවා.
කපිල චන්ද්‍රසේන මහතාගේ කාමරය අසල සාලයක් වැනි කොටසක් තිබෙන බවත් එම ස්ථානයේ වැටී තිබී මෙය හමුවී තිබෙන බවත් පොලිසිය සඳහන් කර සිටියා.
එම මුදල් පසුම්බි වල තිබී එන්.ඩී. බී, ඩී.එෆ්.සී.සී සහ ඇමරිකන් බැංකුවට අයත් බැංකු කාඩ් පත් තුනක් සොයාගෙන තිබෙන බව කී පොලිසිය එම බැංකු කාඩ් පත් අක්‍රිය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මරණකරුගේ ජංගම දුරකථනය විවෘත කිරීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ග කවරේදැයි විමසා සිටියා.
ඊට පිළිතුරු දෙමින් පොලිසිය කියා සිටියේ අදාළ ජංගම දුරකථනය විවෘත කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා එය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බවයි.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ,
” ඉදිරි විමර්ශන කරන්න මේ ජංගම දුරකථනය විවෘත කිරීම අවශ්‍යයි. විමර්ශන ප්‍රමාද වෙන්නේ ඇයි?. මේ විමර්ශන කඩිනමින් කරන්න උත්සාහ කරන්න” යනුවෙන් විවෘත අධිකරණයේ පැවසුවා.
මෙහිදී මහේස්ත්‍රාත් වරයා තවදුරටත් පොලිසිය වෙත කරුණු දක්වමින්” පසුගිය වැඩිදුර වාර්තාවේ සඳහන් කරලා තිබුණා. මේ මරණකරු මිය ගිය නිවස අවට තිබෙන සීසිටීවී පරීක්ෂා කළා කියලා.. එම පරීක්ෂාවේදී බාහිර පුද්ගලයින් අදාල නිවසට ඇතුළු වී නැති බවත් වාර්තා කර තිබුණා. නමුත් පසුගිය වතාවේ නිවසේ සේවිකාවක් ලබාදුන් සාක්ෂියක ප්‍රකාශ කර තිබුණා එම නිවස තුළ පුද්ගලයෙකු සිටි බවට.” යනුවෙන් ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කහ නිලධාරීන් කියා සිටියේ” ස්වාමීනී… මෙම නිවසට රථ ගාල් දෙකකින් ඇතුළු වීමට හැකියාව තිබෙනවා. ඒ අවට තිබෙන සීසීටීවී දර්ශන පරීක්ෂා කළා. එහිදී අනාවරණය වුණා එම දොරටු වලින් බාහිර පුද්ගලයන් මෙම නිවසට පැමිණ නොමැති බවට.” පසුගිය වැඩිදුර වාර්තාවේ සටහන් කළේ එම කාරණය බවත් පොලිසිය මෙහිදී පෙන්වා දුන්නා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත තවත් ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නිවසට ඇතුළු විය හැකි දොරටු තුනක් ප්‍රධාන මාර්ගයට යාබදව තිබෙනවා නේදැයි විමසූවා.
ගූගල් සිතියම් ආශ්‍රයෙන් ඒ පිළිබඳව පරීක්ෂා කර බලා අධිකරණයට දැනුම් දෙන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියම කළා.
ඒ අනුව අදාල සිතියම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ප්‍රධාන මාර්ගය ඔස්සේ අදාළ නිවසට පිවිසිය හැකි එක් දොරටුවක් පවතින බවයි.
ඉන් අනතුරුව සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ අතර කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ රොහාන් චමිල් අමරදාස නමැත්තෙකු සාක්ෂි ලබා දුන්නා. ” පසුගිය හය වනදා මම මියගිය කපිල චන්ද්‍රසේන මහතාට අලුත්කඩේ උසාවියේදී ඇප තැබුවා. මම අරවින්ද මහත්තයව කාලයක් තිස්සේ හඳුනනවා. අරවින්ද මහත්තයා මැයි පස්වනදා මට කතා කළා. චමිල් මට ලොකු උදව්වක් ඕන. ඇපයක් අත්සන් කරන්න තියෙනවා. ග්‍රාම නිලධාරී සහතිකයකුත් අරගෙන එන්න පුළුවන්ද කියලා කිව්වා. පසුව මම ග්‍රාම නිලධාරී සහතිකයකුත් අරගෙන අරවින්ද මහත්තයට කෝල් කලා. පසුව කිව්වා පහුවදා උදේට එයාගේ ගෙදර එන්න කියලා. පසුදා මම ඔහුගේ ගෙදරට ගියා. පසුව ඔහුගේ වාහනයෙන් අලුත්කඩේ උසාවියට ගොස් ඇප තැබුවා.” යනුවෙන් පැවසුවා.
අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේදී මියගිය කපිල චන්ද්‍රසේන මහතා හමුවූ ආකාරය ගැන ද ඔහු විස්තර කළා.
” පසුගිය හත් වැනිදා අරවින්ද මහතා මට කතා කළා. කතා කරලා කිව්වා ලෝයර් හම්බවෙන්න යන්න ඕන එන්න කියලා. පස්සේ හවස මම අරවින්ද මහතාගේ ගෙදරට ගියා. පසුව අපි ලෝයර්ව හම්බෙන්න ගියා. රාත්‍රී ආපසු අරවින්ද මහතාගේ නිවසට අපි ආවා. ඔවුන් කෑම කාල යන්න කිව්වා. ඒ අවස්ථාවේදී කපිල චන්ද්‍රසේන මහතා උඩ තට්ටුවේ සිට බිමට බහිනවා මම දැක්කා. ඇවිල්ලා කෑම මේසෙ වාඩිවුණා. අරවින්ද මහතා අපිව පෙන්නලා කිව්වා මේ අය තමයි ඔයාට ඇප තිබ්බේ කියලා. ඒ අවස්ථාවේදී ” තැන්ක්ස් චමිල්” යනුවෙන් කපිල චන්ද්‍රසේන මහතා තමන්ට ස්තූති කළ බවත් සාක්ෂිකරු පැවසුවා.
ඉන් අනතුරුව අරවින්ද ද සිල්වා මහතාගේ කාර්යාලයේ සේවය කරන පෙරුමාල් ගනේෂ් නමැත්තෙකුද සාක්ෂි ලබා දුන්නා.
ඔහු සඳහන් කළේ අරවින්ද ද සිල්වා මහතාගේ දැනුම්දීමකට අනුව තමන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් කපිල චන්ද්‍රසේන මහතාට රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයත් තැන්පත් කිරීමට කටයුතු කළ බවයි.
” ඇප තැබීමෙන් පස්සේ මම කපිල චන්ද්‍රසේන මහතාව අරවින්ද මහතාගේ නිවසට එක්ක ගියා. ඉන්පසුව මම කාර්යාලයට ගියා. පසුව 07 වනදා දවල් අරවින්ද මහතා මට කිව්වා කපිල චන්ද්‍රසේන මහතා පදිංචිව සිටි බාන්ස් පෙදෙසේ නිවසට ගිහිල්ලා ඇප තැබූ රුපියල් ලක්ෂ 05 ක මුදල ඔහු ආපසු දෙයි. ඒක අරන් එන්න කියලා. පස්සේ දවල් 2.15 පමණ මම කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසට ගියා. ඒ ගෙදර හිටපු වැඩ කරන කට්ටියට මම කිව්වා කපිල මහත්තයව හම්බෙන්න ඕන කියලා. පස්සේ මම උඩ තට්ටුවට ගිහින් හමුවුණා. පසුව කපිල චන්ද්‍රසේන මහතා කිව්වා රුපියල් ලක්ෂ පහක මුදල ළඟ තිබෙන බැංකුවකින් අරන් දෙන්නම් කියලා. ඒ වෙලාවෙම කෝල් එකක් ආවා. ඊට පස්සේ කපිල මහත්තයා කිව්වා මාව ආයෙත් ඇරස්ට් කරන්න යනවා කියලා. පස්සේ මම කිව්වා සර් මට පරක්කු වෙනවා. මට තව වැඩ තියෙනවා මම යන්නම් කියලා. office එකට ඇවිල්ලා ඒක දෙන්න කියලත් මම කියලා එම ස්ථානයෙන් පිටව ගියා” යනුවෙන් කියා සිටියා.
ඉන් අනතුරුව තවත් සාක්කිකරුවන් දෙදෙනෙකුගෙන්ද සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.
එම සාක්ෂි සටන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 26 වන දා කැඳවීමටද අධිකරණය නියම කළා.
