කාන්තාවන් විසින් සිදු කරන සත්කාරක සේවාවන් සඳහා ලබා දෙන අවධානය අඩු වීම අහඹු සිදුවීමක් නොවන බවත්, එය ලොව පුරා ස්ත්‍රීවාදී ආර්ථික විද්‍යාඥයින් විසින් නිරන්තරයෙන් මතු කරන ස්ත්‍රීවාදය සම්බන්ධ ප්‍රධාන ගැටලුවක් වන අතර ව්‍යුහාත්මක මෙන්ම ස්ත්‍රීවාදී ගැටලුවක් වන වැටුප් නොලබා කාන්තාවන් සිදු කරනු මෙවැනි සත්කාරක සේවාවන් සඳහා විසඳුම් සෙවිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කොළඹදී පැවති “South-4-Care Learning Hub: Advancing Decent Work in the Care Economy in South Asia” වැඩසටහනේ ආරම්භක සැසිය අමතමින් අප්‍රේල් 21 දින අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
සත්කාරක සේවා ආර්ථික හා සමාජ ක්‍රියාකාරීත්වය සඳහා බලපාන මූලික අංගයන් වන බවත්, එය තවදුරටත් නොසලකා සිටිය නොහැකි බවත් අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.
දකුණු ආසියාතික රටවල සහභාගීත්වයෙන් අප්‍රේල් 21 සිට 24 දක්වා පැවැත්වෙන මෙම කලාපීය වැඩසටහන, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), ලෝක බැංකුව සහ ILO අන්තර්ජාතික පුහුණු මධ්‍යස්ථානය (ITCILO) සමඟ සහයෝගයෙන් සංවිධානය කර තිබේ.
මෙම වැඩසටහන හරහා රටවල් අතර අත්දැකීම් හුවමාරු කර ගැනීම, ධාරිතාව ශක්තිමත් කර ගැනීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ ගැටලු සඳහා විසදුම් ලබා දෙමින් ස්ථාවර ආර්ථිකයක් සඳහා වන මාර්ග හඳුනා ගැනීමට කලාපීය වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ලබයි.
