ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිම පිළිබඳව ලියවුණු ගීතය අද එළිදැක්වුණා. ඒ, පානදුර නගර ශාලාවේ පැවති ප්‍රසංගයකදී.
ඓතිහාසික කිරිවෙහෙර පුදබිම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ ඉදිකළ බවටයි, ඉතිහාසයේ සඳහන් වන්නේ.
බුදු රජාණන්වහන්සේ කතරගමට වැඩම කළ අවස්ථාවක කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකර ඇති භූමියෙහි මහ රහතන් වහන්සේ සමග විවේකීව වැඩ සිටි බව ද ශාසන ඉතිහාසයේ සඳහන්.
කතරගමට පැමිණෙන සැදැහැවතුන් මහ දේවාලයට යාමට පෙර කිරිවෙහෙර වෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදා ගැනීම සිදු කරන්නේ ඉමහත් බැතියෙන්.
එවැනි ඓතිහාසික වටිනාකම් රැසක් ඇති කිරිවෙහෙර පුදබිම පිළිබඳ ගීතය අද එළිදක්වනු ලැබුවේ පානදුර නගර ශාලාවේදී.
එම අවස්ථාවට රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, ඓතිහාසික කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් වැඩම කර සිටියා.
උන්වහන්සේගේ අනුශාසනා පරිදි එම ගීතය රචනා කරනු ලැබුවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින්. සංගීතවත් කළේ ප්‍රවීන සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන්.
විශාරද ප්‍රදීප් ශ්‍රීනාත් ගීතය ගායනා කළා. රූපරචනය සහ නිෂ්පාදනය සිදු කරනු ලැබුවේ කිරිවෙහෙර මාධ්‍ය ඒකකය විසින්.
