ට්‍රම්ප්ට කටාර් රාජ්‍යයෙන් සුපිරි යානයක්

කටාර් රාජ්‍යයෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු, නවීකරණය කළ බෝයිං 747 නිල ගුවන් යානය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරිලන්ඩ්හි ඇන්ඩෲස් ගුවන් හමුදා කඳවුරේදී නිරීක්ෂණය කළා.

වසර 30කට අධික කාලයක් අමෙරිකානු ජනාධිපතිවරුන් ප්‍රවාහනය කළ පැරණි බෝයිං 747 යානය වෙනුවටයි මෙම නව යානය හඳුන්වා දී ඇත්තේ.

ඩොලර් මිලියන 400ක් වටිනා මෙම සුඛෝපභෝගී යානය පිළිගැනීම පිළිබඳව එරට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි විරෝධයක් මතුව තිබෙනවා.

අමෙරිකානු නීතියට අනුව එක් දින දර්ශන වර්ෂයක් තුළ එකම පාර්ශවයකින් ලබාගත හැකි ත්‍යාගවල උපරිම මූල්‍ය සීමාව ඩොලර් 50ක්, එහෙත් කටාර් රාජ්‍යයෙන් ලැබුණු මෙම ගුවන් යානයේ වටිනාකම එම සීමාව විශාල ලෙස ඉක්මවා යාම මෙම නොසන්සුන්තාවට හේතුවයි.

ලෝකයේ වඩාත්ම සුඛෝපභෝගී ගුවන් යානය ලෙස සැලකෙන එය, ජනාධිපති ට්‍රම්ප්ගේ කැමැත්ත පරිදි රතු, සුදු, තද නිල් සහ රන්වන් පැහැයෙන් වර්ණ ගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

විදේශීය නායකයන් සතු නවීන ගුවන් යානා සමඟ සැසඳීමේදී අමෙරිකාවට මෙවැනි යානයක් අත්‍යවශ්‍ය බව පවසන ජනාධිපතිවරයා, මෙම ත්‍යාගය ප්‍රතික්ෂේප කිරීම අනුවණ ක්‍රියාවක් බව සඳහන් කරනවා.

අමෙරිකානු ගුවන් හමුදා බලධාරීන් පවසන්නේ, ජනාධිපතිවරයාගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරමින් උසස්ම ප්‍රමිතියෙන් යුතුව යානය සකස් කර ඇති බවයි.

බෝයිං සමාගම නිෂ්පාදනය කළ නිල යානා ලැබීමට ප්‍රමාද වන බැවින්, මෙම කටාර් යානය තාවකාලික භාවිතයට ගන්නා බව සඳහන්.

ලබන මස 04 වැනිදා පැවැත්වෙන නිදහස් දින සැමරුම් ගුවන් සංදර්ශනයට මෙය නායකත්වය දෙනු ඇති බවයි ධවල මන්දිරය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

නවතම ජනාධිපති ගුවන් යානා ද්විත්වය 2028 වසරේදී ලැබෙන තෙක්, මෙම කටාර් යානය ඇමරිකානු ජනාධිපතිවරයාගේ සංචාර සඳහා තාවකාලික පාලම් යානයක් ලෙස භාවිත කිරීමට නියමිත බව ආරක්ෂක අංශ පවසනවා.

ජාතික ආරක්ෂාව සහ සන්නිවේදන පද්ධති නවීකරණය කරමින් ධවල මන්දිරයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගත් බවයි බලධාරීන් අවධාරණය කරන්නේ.

පෙන්ටගනය පෙන්වා දෙන්නේ සියලුම ෆෙඩරල් නීති සහ රෙගුලාසිවලට අනුකූලව ආරක්ෂක ලේකම්වරයා බෝයිං 747 යානය භාරගෙන ඇති බවයි.