පෙරහැරට ගෙන ආ අලියෙකු කළ පහරදීමෙන් ඇත්ගොව්වා සහ සහයකයා මරුට

රක්වාන ශ්‍රී උභයතිලකාරාම විහාරස්ථානයේ පැවැති 78 වන පොසොන් පෙරහැරට ගෙන ආ අලියෙකු කළ පහර දීමකින් ඇත්ගොව්වා සහ ඔහුගේ සහයකයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (21) පැවැති පෙරහැරට රැගෙන ආ අලි දෙදෙනෙකු විහාරස්ථානය ආසන්නයේ බැඳ දමා ඇති අතර, අද උදෑසන එම අලියෙකුට ජලය ලබාදීම සඳහා ඇත්ගොව්වාගේ සහයකයා විසින් රක්වාන ගඟ දෙසට රැගෙන ගොස් තිබේ.

එම අවස්ථාවේදී අලියා කුපිත වී සහයකයාට පහරදී පාගා මරා දමා ඇති බව වාර්තා වේ.

සහයකයාගේ කෑගැසීම ඇසී එම ස්ථානයට ගිය ඇත්ගොව්වාට ද එම අලියා විසින් පහර දී ඇති අතර, ඔහුද එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධියෙන් පසු අලියා විහාරස්ථානය අසල කුඹුරු යායකට පැන ගොස් තිබේ.

වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.