රු. මිලියන 712ක ගම්පහ අතිනවීන “අග්‍රා” ශ්‍රවණාගාරය විවෘත වෙයි

ගම්පහ දිස්ත්‍රික්කයේ විශාලතම සහ සියලු නවීන පහසුකම් වලින් අංගසම්පූර්ණ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සංකීර්ණයේ අභිනවයෙන් ඉදිකළ නව “අග්‍රා” ශ්‍රවණාගාරය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පෙරවරුවේ විවෘත කෙරුණා.

සර්වාගමික වතාවත් සිදු කිරීමෙන් පසු සමරු ඵලකය නිරාවරණය කළ අමාත්‍යවරයා නව ශ්‍රවණාගාරයේ සමරු සටහනක් තැබීම ද සිදු කළේය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පසුගිය කාලයේ නතර වී තිබූ ව්‍යාපෘති රැසක් මේ වන විට නැවත ආරම්භ කිරීමට හැකි වූ බවත්, ගම්පහ පරිපාලන සංකීර්ණය ආශ්‍රිතව ඉදිකරන ලද මෙම ශ්‍රවණාගාරය තුළින් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම මෙන්ම මෙහි ඇති රාජ්‍ය ආයතනවල කාර්යයන් සඳහා වඩාත් ගුණාත්මක හා ඵලදායී ලෙස යොදා ගැනීම අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළේය.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් පරිදි සමාජයේ උන්නතිය වෙනුවෙන් ආර්ථිකය ශක්තිමත් කරනවා මෙන්ම සංස්කෘතික මිනිසෙක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් හඳුනාගෙන තිබූ නිසා සංස්කෘතිය නගාසිටුවීම සඳහා කටයුතු කරන බවත් සියනෑවේ සංස්කෘතික ප්‍රබෝධය වෙනුවෙන් සංස්කෘතිය පෝෂණය කිරීමට වඩාත් ඵලදායී සේවයක් සැලසීමට මෙම ශ්‍රවණාගාරය ඉවහල් වන බවත් අමාත්‍යවරයා පැවසුවා.

දිස්ත්‍රික් ලේකම් සඳහන් කළ පරිදි ඇති වන්නා වූ තාක්ෂණික අඩුපාඩු සකස් කරමින්, මේ වන විටත් එතුමා සකස් කර ඇති සැලසුම අනුව කටයුතු කිරීමෙන් වඩාත් ඵලදායී ලෙස මෙම ආයතනය භාවිත කළ හැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ඉදිකරන ලද මෙම නව ශ්‍රවණාගාරය සඳහා වැය කොට ඇති මුදල රුපියල් මිලියන 712කි.

මෙම ශ්‍රවණාගාරය අති නවීන තාක්ෂණික උපාංගවලින් යුතු වන අතර ආසන 1000කින් ද, වර්ග මීටර් 24ක් දිග මීටර් 12ක් පළල වේදිකාවකින් ද, ශබ්ද පාලන ක්‍රම හා වේදිකා ආලෝකකරණ පද්ධතිවලින් මෙන්ම ශ්‍රව්‍ය දෘශ්‍ය හා භාෂා පරිවර්තන පහසුකම්වලින් ද, නාට්‍ය හා ප්‍රාසාංගික කටයුතු සඳහා භාවිත කරන අංශක 360 පරිදර්ශක සිතුවම් චිත්‍රණය කරන සයික්ලොරාමා පුළුල් තිරයෙන් ද සමන්විතයි.

මීට අමතරව නවීන ශ්‍රවණාගාරය තුළ ප්‍රභූ විවේකාගාරයක්, වේෂ නිරූපන ශිල්පීන් වෙනුවෙන් විවේක කාමර, උඩුමහලෙහි ප්‍රදර්ශනය සඳහා වෙන් කරන ලද කලාගාරවලින් යුක්ත වන අතර මෙම ශ්‍රවණාගාරය රැස්වීම් ශාලාවක් හා රංග ශාලාවක් ලෙසින් භාවිත කිරීමට හැකි වන පරිදි ඉදිකර තිබෙනවා.

වසර ගණනාවක් පැරණි අග්‍රා ගොඩනැගිල්ලේ පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වඩාත් විධිමත් කාර්යාලයක් ලෙස ස්ථාපිත කිරීමට සැලසුම් කිරීමේ දී, දිස්ත්‍රික්කයට වඩාත් ඵලදායී පරිපාලන සංකීර්ණයක් ස්ථාපිත කිරීම මෙන්ම දිස්ත්‍රික්කයේ කලා කටයුතු, සංස්කෘතික කටයුතු, රාජ්‍ය අංශයේ උත්සව කටයුතු සඳහා අවශ්‍ය, අත්‍යවශ්‍යම අංගයක් ලෙස මෙවැනි ශ්‍රවණාගාරයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීමට තීරණය විය.