තිරසාර ධීවර කර්මාන්තය, සාගර සංරක්ෂණය සහ ධීවර ප්‍රජාවගේ සුබසාධනය ප්‍රවර්ධනය අරමුණු කරගත් ලෝක ධීවර දිනය අදට යෙදී තිබෙනවා.
1997 වසරේ නොවැම්බර් 21 වැනිදින රටවල් 18ක ධීවර නියෝජිතයින් එක්ව ලෝක ධීවර සංසදය පිහිටුවා ගැනීම සිහිපත් කරමින් සෑම වසරකම මෙම දිනය සමරනු ලබනවා.
“වෙනසක් උදෙසා ජනතාව සවිබල ගැන්වීම, ධීවර හා ජලජීවී වගා ක්ෂේත්රයේ, විශේෂයෙන්ම තරුණ සහ කාන්තා ප්‍රජාව වෙනුවෙන් ගෞරවාන්විත රැකියා ප්‍රවර්ධනය කිරීම” 2026 ලෝක ධීවර දිනයේ තේමාවයි.
අධික ලෙස මසුන් ඇල්ලීම, සාගර දූෂණය සහ අනාරක්ෂිත සේවා පරිසරයන් වැනි ගෝලීය අභියෝග හමුවේ වුවද, ධීවර ක්ෂේත්රයේ කාන්තාවන්ට සහ තරුණ ප්‍රජාවට සුරක්ෂිත රැකියා අවස්ථා සලසා දීම කෙරෙහි මෙවර විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
ගෝලීය ආහාර සුරක්ෂිතතාවට ධීවර ප්‍රජාව දක්වන දායකත්වය ඇගයීමට ලක් කෙරෙන අද දිනයේදී, ශ්‍රී ලංකාව ද 2030 වසර වන විට අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 300 සිට මිලියන 600 දක්වා දෙගුණ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ වෙනුවෙන් රුපියල් බිලියන 6.2ක මුදලක් වෙන් කර ඇති අතර, උතුරු පළාතේ නැංගුරම්පොළ සහ ධීවර වරාය සංවර්ධනයට රුපියල් බිලියන 5ක් ද, ගන්දර ධීවර වරායට රුපියල් බිලියන 1.5ක් ද, හලාවත සහ වෙල්ලමංකර වරායන් සඳහා රුපියල් මිලියන 300ක් ද වෙන් කර තිබෙනවා.
ඊට අමතරව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල නවීකරණයට රුපියල් බිලියනයක්, දැල් නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රුපියල් මිලියන 500ක් සහ ලංකා ධීවර සංස්ථාවේ අලෙවි ජාලය වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 200ක් ලබා දීමට අපේක්ෂිතයි.
විශේෂයෙන් රැකියාව අතරතුර සිදුවන අනතුරුවලින් මියයන ධීවරයින්ගේ පවුල් වෙනුවෙන් ගෙවනු ලබන වන්දි මුදල රුපියල් මිලියනයේ සිට මිලියන 2 දක්වා දෙගුණ කිරීමට ද රජය පියවර ගෙන තිබෙනවා.
මේ අතර ලෝක ධීවර දිනයට සමගාමීව රුපියල් මිලියන 224 ක වියදමින් ගාල්ල ධීවර වරායේ නව මත්ස්‍ය වෙන්දේසි ශාලාව ඉදිකිරීම සහ එහි නවීකරණ කටයුතු හා රුපියල් මිලියන 99.12ක වියදමින් අම්බලන්ගොඩ ධීවර වරායේ නවීකරණ කටයුතු ද ආරම්භ කිරීම සිදු කෙරුණා.
ඒ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
කොරියානු රජයේ සහාය ඇතිව කොළඹ නාරා ආයතනයේ ස්ථාපනය කෙරුණු ශ්‍රී ලංකා ජාතික සාගර හා ධීවර දත්ත මධ්‍යස්ථානයද ලෝක ධීවර දිනයට සමගාමීව පසුගියදා විවෘත කෙරුණු අතර නූතන තාක්ෂණය යොදා ගනිමින් මෙරට ධීවර ජනතාව සවිබල ගැන්වීම සඳහා ධීවර තොරතුරු හා මත්ස්‍ය පුරෝකතන ලබාදීමේ ක්‍රියාවලිය සවිමත් කිරීමටද ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
