ශ්‍රී ලංකාව (SCO) සමඟ ඇති සම්බන්ධතාව ඉහළ නංවයි

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් නුර්ලන් යෙර්මෙක්බායෙව් මහතා මැයි 19 සිට 21 වැනි දින දක්වා ශ්‍රී ලංකාව තුළ නිල සංචාරයක නිරත වූ අතර එම නිල සංචාරය අතරතුරදී ඒ මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ ඊයේ (20) දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී ඵලදායී සාකච්ඡා පැවැත්වුණා.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම්වරයෙකු ශ්‍රී ලංකාවට කළ පළමු සංචාරය වන මෙම සංචාරය, එම සංවිධානය සමඟ ශ්‍රී ලංකාවේ සම්බන්ධතාව ඉහළ නැංවීමට දායක වනු ඇත.

සංචාරක, ප්‍රවාහන සහ සැපයුම් සහ කෘෂිකර්මාන්තය යන අංශ ගණනාවක් ඔස්සේ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සහ එහි හවුල්කාර රටවල් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ වර්ධනය කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවලදී අවධානය යොමු විය.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මුලපිරීම්වලට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව දක්වන දැඩි උනන්දුව අමාත්‍ය හේරත් මහතා අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාව ආයෝජන සහ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා මහලේකම්වරයාගේ සහය ඉල්ලා සිටියේය.

මෙම සංචාරයේදී මහලේකම්වරයා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරුන් සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වීය.